社会保険制度 (Shakai hokenseido) / Social Insurance System in Japan - සමාජ රක්ෂණ පද්ධතිය

社会保険制度 (Shakai hokenseido) / Social Insurance System in Japan - සමාජ රක්ෂණ පද්ධතිය

අද කතා කරන්න යන්නේ ජපානේ තියන Social Insurance System එක, සිංහලෙන් කිව්වොත් “සමාජ රක්ෂණ පද්ධතිය” ගැන.

මොකද්ද මේ Social Insurance / 社会保険 (Shakai Hoken) එක කියන්නේ?

ජපන් සමාජය තුල ජිවත්වන පුද්ගලයින්ගේ ජිවිත වලට විය හැකි අනතුරු/උපද්‍රව කාණ්ඩ 5කට (ලෙඩ රෝග, අනතුරු, ආබාධිත තත්වයන්, මරණය, වයස්ගතවීම) වෙන් කරලා, ඒ සඳහා උදව් කිරීම සඳහා තියන රක්ෂණ ආවරණයකට තමයි Social Insurance System එක කියන්නේ.

ජපානයේ ජිවත් වන අවුරුදු 20ට වැඩි සියලුම දෙනා මේ Social Insurance System එකට ඇතුලත් විය යුතුයි. මේකට ජපානේ කියන්නේ 皆保険制度 (kaihoken seido) කියල.

Social Insurance System එක පහලින් තියන විදියට කොටස් කිහිපයකට වෙන්කරගන්න පුළුවන්.

  1. සෞඛ්‍ය රක්ෂණය - Health Insurance

  2. විශ්‍රාම වැටුප් රක්ෂණය - Pension Insurance

  3. සේවා නියුක්ති රක්ෂණය - Employment Insurance

  4. කර්මාන්ත අනතුරු රක්ෂණය - Industrial Accident Insurance

  5. හෙද/සාත්තු රක්ෂණය - Nursing Insurance

මේ කොටස් පහෙන් පළමු කොටස් දෙක ගැන අද කතා කරමු.

සෞඛ්‍ය රක්ෂණය - Health Insurance (健康保険 - Kenko hoken)

සෞඛ්‍ය රක්ෂණය මගින් අපේ වෛද්ය වියදම් වලින් කොටසක් ආවරණය කරනවා. අදාල පුද්ගලයාගේ වයස අනුව ආවරණය කරන ප්‍රමාණය වෙනස් වෙනවා.

වයස අවුරුදු 6 දක්වා - 80%

වයස අවුරුදු 6 සිට 69 දක්වා - 70%

වයස අවුරුදු 70 සිට 74 දක්වා - 80%

වයස අවුරුදු 75ට වැඩි - 90%

තවත් දෙයක් කියන්න ඕන, ඔයාට වෛද්ය වියදම් සඳහා අතින් ගෙවන්න වෙන මුදලටත් උපරිම අගයක් තියනවා. ඒ කියන්නේ operation එකක් වගේ කරන්න වෙනවා නම්, ඒ සඳහා අතින් ගෙවන්න වෙන උපරිම මුදලක් තියනවා.

ඒ වගේම තමයි දරු උපත් වලදී වෙනම සහන මුදලක් ලැබෙනවා. ඒ ගැන මම වෙනම ලිපියක් ලියල තියනවා. ඒකත් බලන්න.

https://www.ohayotalks.com/t/topic/27

Health Insurance එකට වාරික මුදල් ගණනය වෙන ආකාරය ගැන වෙනම ලිපියකින් කියන්නම්.

විශ්‍රාම වැටුප් රක්ෂණය - Pension Insurance (年金 - Nenkin)

ජපානයේ විශ්‍රාම වැටුප් රක්ෂණය මගින් මරණය, අබාධිත වීම සහ වයස්ගත විශ්‍රාම වැටුප ආවරණය කෙරෙනවා.

ඔබ මියගියොත් ඔබගේ පවුලේ අයට ඔබගේ විශ්‍රාම වැටුප ලබාගන්න පුළුවන්.

ආබාධිත තත්වයකට ලක්වුනොත් ආබාධිත විශ්‍රාම වැටුප ලබාගන්න පුළුවන්.

ඒ වගේම, වයස අවුරුදු 65ට වඩා වැඩි වූ පසු වයස්ගත විශ්‍රාම වැටුප ලබාගන්න පුළුවන්.

හැබැයි මේ වයස්ගත විශ්‍රාම වැටුප ලබාගන්න නම් ජපානයේ අවුරුදු 10කට වඩා විශ්‍රාම වැටුප් රක්ෂණයට ඇතුලත් වෙලා ඉඳල තියෙන්න ඕන. ඒ වගේම තමයි ජපානයෙන් පිට වෙනත් රටක හිටියත් මේ වයස්ගත විශ්‍රාම වැටුප ලබාගන්න පුළුවන්.

අවුරුදු 10ක් ජපානයේ විශ්‍රාම වැටුප් රක්ෂණයට ඇතුලත් වෙලා හිටියේ නැත්තන්, විශ්‍රාම වැටුප සඳහා ඔබ විසින් ගෙවන ලද මුදල් සියල්ල එක වර ලබාගන්න පුළුවන්. හැබැයි මේක ගන්න පුළුවන් ජපානෙන් පිට වෙලා ගියාට පස්සේ විතරයි. ජපානේ ජිවත් වෙන ගමන් මේ මුදල් ගන්න හැකියාවක් නෑ.

විශ්‍රාම වැටුප සඳහා වාරික මුදල් ගණනය වෙන ආකාරය ගැනත් වෙනම ලිපියකින් කියන්නම්.

ලිපිය මුලදී මම කිව්වා ජපානයේ ජිවත් වෙන අවුරුදු 20ට වැඩි සියලුම දෙනා Social Insurance System එකට ඇතුලත් විය යුතුයි කියල. මේකත් ප්‍රධාන කාණ්ඩ 3කට වෙන් කරලා තියනවා.

  1. ස්වයං රැකියා / ව්‍යාපාරික / සිසුන්, etc…

  2. ආයතනයක රැකියාවක නිරත පුද්ගලයින්.

  3. ආයතනයක රැකියාවක නිරත වෙන පුද්ගලයින්ගේ යැපෙන්නන්.

මේ කාණ්ඩ වලින් දෙවෙනි කාණ්ඩයේ අයට, එහෙම නැත්නම් ආයතනයක රැකියාවක නිරත වෙලා ඉන්න අය Employees’ Social Insurance System එකට තමයි ඇතුලත් වෙන්නේ. මේකට කියන්නේ 会社員の社会保険制度 (Kaishain no shakai hōkenseido) කියල. මේකෙදි Social Insurance System එකට අදාළ රක්ෂණාවරණ සඳහා වාරික කෙලින්ම මාසික පඩියෙන් අඩු කරගන්නවා. ඒ වගේම තමයි මම මේ උඩින් කියල තියන අනිත් කාණ්ඩ දෙකේ අයට ලැබෙනවට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා.

හැබැයි මෙතන මතක තියාගන්න ඕන කාරණයක් තමයි අර්ධ කාලීන (Part-time) රැකියා වල නිරත වෙලා ඉන්න අය 会社員の社会保険制度 (Kaishain no shakai hōkenseido) එකට ඇතුලත් වෙන්නේ නෑ. ඒ වගේම තමයි 会社員の社会保険制度 (Kaishain no shakai hōkenseido) එක ලබාදෙන්නේ නැති සමහර කුඩා පරිමානයේ ආයතන තියනවා. ඒ නිසා රැකියාවකට යනකොට ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමුකරන්න.

දැන් බලමු උඩින් මම කියල තියන පලවෙනි කාණ්ඩයට අයත් වෙන අය සෞඛ්‍ය රක්ෂණය සහ විශ්‍රාම වැටුප් රක්ෂණය ලබාගන්නේ කොහොමද කියල.

මේ අයට තමන් විසින් ජීවත්වෙන ප්‍රදේශයට අදාළ නගර කාර්යාලයට ගිහින් Kokumin Kenko Hoken 国民健康保険 (National Health Insurance) එකට සහ Kokumin Nenkin 国民年金 (National Pension System) එකට අයදුම් කරන්න වෙනවා.

2024 වර්ෂයට 国民年金 (National Pension System) එක සඳහා වාරිකය මසකට 16,980円 වෙනවා.

මේ වාරික ගෙවීම තමන් විසින්ම කල යුතු අතර බැංකු, තැපැල් කාර්යාල, කොන්බිනි වලින් ගෙවීම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි, මාසිකව බැංකු ගිණුමෙන් වාරික අඩු කරගැනීමට සැකසීම, ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම වැනි ක්‍රම හරහා මාසික වාරිකය සඳහා සුළු වට්ටම් ලබාගැනීමට පුළුවන්.

එහෙනම් ඉතින් මේ ලිපියෙන් යමක් දැනගන්න ඇති කියල හිතනවා. ඒ වගේම මේ ලිපියේ කියල තියන දේවල් පිළිබඳව ප්‍රශ්න තියනවා නම් යටින් reply එකක් දාන්න.

සැ.යු:
ඔබ මෙම ලිපිය වෙනත් social media platform එකක හෝ වෙනත් වෙබ් පිටුවක පල කරන්නේ නම්, මෙම පිටුවට link (share option) එකක් වශයෙන් හෝ උපුටා ගන්නා ලද්දේ මෙම පිටුවෙන් බව සඳහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.