අද ලිපියෙන් කතා කරන්න යන්නේ ජපානේ පෙන්ෂන් එක ගැන. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක් නිසා පුළුවන් තරම් සරල විදියට පැහැදිලි කරන්න උත්සහ කරන්නම්.
National Pension / 国民年金 / Kokumin Nenkin
ජපානයේ Resident Status එකක් තියන අවුරුදු 20ත් 59ත් අතර පසුවන හැමෝම අනිවාර්යයෙන් ගෙවන්න ඕන එකක් තමයි මේ National Pension එක කියන්නේ. විවිධ හේතු මත මේ ගෙවීම් වලින් නිදහස් වීමට, කල්දමාගැනීමකට හෝ ගෙවීමට අවශ්‍ය වාරික මුදල් අඩු කරගැනීමට හැකියාව තිබුනත්, සරලවම කිව්වොත් National Pension එකට ගෙවන එක අනිවාර්යයි. මේ ගෙවීම් පැහැර හැරියොත් බැංකු ගිණුම් අත්හිටවන්න පවා රජයට පුළුවන්. ඒ වගේම තමා වීසා එකකින් ජපානේ ඉන්න කෙනෙක් නම් ඒ වීසා එක අත්හිටුවන්න පවා බලතල රජයට තියනවා. 2024 අවුරුද්දේ පාර්ලිමේන්තුවේ සම්මත වුන අලුත් නීති වලට අනුව PR එක පවා අවලංගු කරන්න හැකියාව දැන් රජයට තියනවා.
අවුරුදු 20ට වඩා වැඩි Studentsලට එයාලගේ අදායම රජය විසින් නියම කරන ලද ප්‍රමාණයට වඩා අඩුයි නම් Pension ගෙවීම් වලින් නිදහස් වෙන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමයි මේ නොගෙවන කාල සීමාව තුල අබාධිත උනොත්, pension එකට ගෙවල නැතත් අබාධිත අය සඳහා ලැබෙන pension එක ලබාගන්න පුළුවන් (කොන්දේසි සහිතයි). අනිත් කාරණේ තමයි, මේ නොගෙවන කොටස් පස්සේ කලෙක ගෙව්වේ නැත්තම් Pension එක ගණන් හදනකොට ඒවා අඩු වෙලා තමයි ගණන් හැදෙන්නේ.
ලංකාවේ ඉඳල ජපානෙට එන ගොඩ දෙනෙක් Studentsල විදියට නේ එන්නේ, ඉතින් ඒ හැමෝටම මේ වගේ සහන කාලයක් ලැබෙනවා.
National Pension එක අවුරුදු 10කට වඩා ගෙවන කෙනෙක්ට, එයාට අවුරුදු 65 සම්පුර්ණ වෙනකොට Old-age Basic Pension එක ලබාගන්න පුළුවන්. අවුරුදු 65 වෙනකොට ජපානයේ නොසිටියත් මේක ලබාගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම තමයි අවුරුදු 10ට වඩා අඩුවෙන්, මාස 6කට වඩා වැඩි කාලයක් ජපානේ ඉඳලා, ජපානෙන් පිටවෙන කෙනෙක්ට තමන් ජපානේ රැඳී සිටි කාලය තුල ගෙවපු Pension මුදල් වලින් කොටසක් ලබාගැනීමේ හැකියාව තියනවා. මේ ගැන මම වෙනම ලිපියකින් කතා කරන්නම්.
Pension Categories
ජපානේ Pension එක ප්‍රධාන වශයෙන් කොටස් 3කට වෙන් කරලා තියනවා.
- Category Ⅰ - ජපානයේ ජිවත් වෙන අවුරුදු 20ත් 59ත් අතර Category Ⅱ හෝ Ⅲට අයත් නොවන පුද්ගලයින් (කෘෂිකර්මාන්තය, වන වගාව, ධිවර කර්මාන්ත ව්‍යාපාරිකයින්, ස්වයං රැකියාවල නිරත අය, සිසුන්)
- Category Ⅱ - අවුරුදු 70ට අඩු, සේවක විශ්‍රාම වැටුප් රක්‍ෂණ ක්‍රමයට ඇතුලත් පුද්ගලයින්.
- Category Ⅲ - Category Ⅱ ට අයත් නොවන, අවුරුදු 20ත් 59ත් අතර ජපානයේ ජිවත් වන, සේවක විශ්‍රාම වැටුප් රක්‍ෂණ ක්‍රමයට ඇතුලත් පුද්ගලයින්ගේ කලත්‍රයින් (බිරිඳ හෝ සැමියා).
Employee’s Pension Insurance / 厚生年金保険 / Kosei Nenkin
Employee’s Pension එක කියන්නේ, අවුරුදු 70ට අඩු ආයතනයක රැකියාවක් කරන, 社会保険制度 (Shakai Hoken) එක, එහෙමත් නැත්නම් Social Insurance System හෙවත් සමාජ රක්ෂණ පද්ධතියට ඇතුලත් වෙලා ඉන්න අයට ලැබෙන Pension එක. කලින් මම කියල තියන Category Ⅱ එකට අයත් වෙන්නේ මෙන්න මේ අය.
社会保険制度 (Shakai hokenseido) එක ගැන මම වෙනමම ලිපියක් ලියල තියනවා ඒකත් බලන්න.
මේ 厚生年金保険 / Kosei Nenkin එකට National Pension එක, එහෙම නැත්නම් 国民年金 / Kokumin Nenkin එකට අදාල වාරික ගෙවීමත් සිදුවෙනවා. සරලව කිව්වොත් ඔයා ආයතනයක වැඩ කරන කෙනෙක් නම්, ඔයාගෙන් මාසිකව 社会保険制度 (Shakai Hoken) එකට මුදල් කැපෙනවා නම්, ඔයා 国民年金 / Kokumin Nenkin එකට ගෙවන අතරම තවත් අමතර මුදලක් 厚生年金保 / Kosei Nenkin විදියට ගෙවනවා. මේ 厚生年金保険 / Kosei Nenkin එකට අදාල වාරික හැදෙන්නේ ඔයාගේ අදායම අනුව. වාරිකය ¥ 59,475ක උපරිමයක් දක්වා මෙහෙම මාසිකව අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ගෙවනවා වගේම තමයි, National Pension එකට විතරක් ගෙවන Category Ⅰ, Category Ⅲ අයට වඩා ලැබෙන Pension එකත් වැඩියි.
Pension Benefits - ප්‍රතිලාභ
දැන් එහෙනම් අපි බලමු Pension එකට ගෙව්වම අපිට මොනවද ලැබෙන්නේ කියල.
- National Pension / 国民年金 / Kokumin Nenkin
2024 දත්ත අනුව 国民年金 / Kokumin Nenkin එකේ මාසික වාරිකය වෙන්නේ ¥ 16,980ක්. ඒ වගේම තමයි අවුරුදු 40ක් නොකඩවා Pension එකට ගෙවන කෙනෙකුට Pension එක විදියට අවුරුදු 65 පැන්නම ලැබෙන්නේ අවුරුද්දකට ¥ 816,000ක්. ඒ කියන්නේ මාසෙට ¥ 68,000.
දැන් අපි හිතමුකෝ තරිඳු කියල ලංකාවේ කෙනෙක් අවුරුදු 30දී ජපානෙට එනවා කියල. මෙහෙම ඇවිත් Pension එක හරියටම එක දිගටම අවුරුදු 59 පිරෙනකම් ගෙවනවා කියල හිතමු. මෙහෙම කෙනෙක්ට 国民年金 / Kokumin Nenkin එක කීයක් වගේ ලැබෙයිද?
මේක හැදෙන්නේ මෙහෙමයි,
国民年金 / Kokumin Nenkin එකට ගෙවන්න ඕන කාලය අවුරුදු 40 යි, ඒ කියන්නේ මාස 480යි.
දැන් මේ තරිඳු ජපානෙට ඇවිත් තියෙන්නේ අවුරුදු 30දී, එහෙම ඇවිත් 59 පිරෙනකම් ගෙවල. ඒ කියන්නේ අවුරුදු 30ක් (මාස 360)ක් නොකඩවා Pension එක ගෙවල තියනවා.
අවුරුදු 40ම Pension එකට ගෙවන කෙනෙකුට අවුරුද්දකට Pension එක විදියට ලැබෙන්නේ ¥ 816,000ක්.
තරිඳුට ලැබෙන Pension එක = 816,000 / 480 x 360 = ¥612,000 (මාසෙට ¥51,000)
- Employee’s Pension Insurance / 厚生年金保険 / Kosei Nenkin
厚生年金保険 / Kosei Nenkin එක හැදෙන හැටි නම් ටිකක් සංකීර්ණයි, මොකද මේකට ගෙවන වාරික හැදෙන්නේ අදායම මත නිසා. පුළුවන් තරම් සරල විදියට පැහැදිලි කරන්න බලන්නම්.
Kosei Nenkin වාරිකය හැදෙන්න බලපාන ප්‍රධාන කොටස් දෙකක් තියනවා.
- මාසික පඩිය (මුලික වැටුප සහ දීමනා. ප්‍රවාහන දීමනාවත් ඇතුලත්)
- ප්‍රසාද දීමනා (Bonus) - මාස තුනකට වඩා වැඩි කාල පරතරයක් තිබිය යුතුයි.
හැම අවුරුද්දෙම අගෝස්තු මාසයේ තමයි මේ මාසික පඩිය ගණන් බලන්නේ. අප්‍රේල්, මැයි, ජුනි යන මාස වල මුලික වැටුප සහ දීමනා වල එකතුවේ සාමාන්‍යය තමයි මේ විදියට මාසික පඩිය විදියට ගණන් හදන්න ගන්නේ. මීට අමතරව මේ ගණන් හදන විදියට බලපාන කාරණා තියනවා හැබැයි ඒවා සංකීරණ නිසා සහ හැමෝටම බලපාන්නේ නැති නිසා මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ.
මෙහෙම සාමාන්‍ය ගත්තට පස්සේ ඒ අනුව Pension එකට ගෙවන්න ඕන වාරිකය තීරණය වෙනවා. ඒක ඔයාලට මෙන්න මේ වගුවෙන් බලාගන්න පුළුවන්.
මෙතනදී ඔයාල බලන්න ඕන 折半額 9.150% කියන වගුව, මොකද 厚生年金保険 / Kosei Nenkin එකට ඔයා වගේම ඔයා වැඩ කරන ආයතනයත් 9.150%ක කොටසක් ගෙවනවා. දෙකේම එකතුව තමයි 18.300% වෙන්නේ.
උදාහරණයක් විදියට අපි කලින් කිව්වා තරිඳුම ගමුකො. තරිඳුගේ මාසික පඩිය කොල 28ක් එහෙම නැත්නම් ¥280,000ක් නම් එයාගේ Pension එක විදියට මාසෙකට ¥25,620ක් කැපෙනවා.
ඒ වගේම තමයි මේකෙදි ඔයාලට බලන්න පුළුවන් Pension වාරිකය විදියට උපරිම කැපෙන්න පුළුවන් ¥59,475ක් විතරයි. ඒ කියන්නේ මාසෙට ¥635,000ක් ගන්න කෙනාටත්, ¥800,000ක් ගන්න කෙනාටත් Pension එකට අඩුවෙන්නේ ¥59,475ක් විතරයි.
මේ වාරික සාමාන්‍යය හරිම වැදගත්. මොකද අපේ පඩිය හැමදාම එක වගේ තියෙන්නේ නැහැ නේ. ඉතින් ගණන් හදන්න අපි ගෙවපු ගණන් අවශ්‍ය වෙනවා. අපි මේ pension එකට ගෙවන ගණන https://www.nenkin.go.jp/ කියන website එකෙන් බලාගන්න පුළුවන්. MyNumber Card එක තියනවා නම් වෙනම login credentials අවශ්‍ය වෙන්නෙත් නැහැ.
හරි, අපි එහෙනම් බලමුකෝ තරිඳුට ලැබෙන Pension එක මොන වගේද කියල.
ගණන් හදන්න පහසු වෙන්න මම තරිඳු ජපානේ ඉන්න කාලේ ගත්ත පඩියේ සාමාන්‍යය මෙන්න මේ පහල තියන විදියට උපකල්පනය කරනවා.
පලවෙනි අවුරුදු 10 (මාස 120) - ¥280,000
දෙවෙනි අවුරුදු 10 (මාස 120) - ¥380,000
තුන්වෙනි අවුරුදු 10 (මාස 120) - ¥500,000
තරිඳු ජපානේ හිටපු මුළු කාලය අවුරුදු 30 (මාස 360)ක්. එහෙනම් අපි මේ සාමාන්‍යය බැලුවොත්
(280,000 x 120) + (380,000 x 120) + (500,000 x 120) = 139200000
අවුරුදු 30 වාරික සාමාන්‍යය = 139200000 / 360 = 386,000
ඊළඟට ප්‍රතිලාභ ගණන් හදන්න පාවිච්චි කරන ගුණාකාරයක් තියනවා. මේ අගය උපන් වර්ෂය අනුව වෙනස් වෙනවා. 1946 අප්‍රේල් 2 වෙනිදයින් පස්සේ ඉපදුන අයට මේ අගය වෙන්නේ 1,000ක්.
ඒ වගේම තමයි 2003ට කලින් pension ගෙවපු අය සහ 2003න් පසු ගෙවපු අයට ඒ ඒ කාල වලට අනුව ගණන් හැදෙන හැටි වෙනස්.
A. 2003ට කලින් නම් ගුණාකාරය = 7.125/1000
B. 2003ට පසු නම් ගුණාකාරය = 5.481/1000
ගණන් හදනකොට මේ දෙකේම එකතුව අරන් තමයි හදන්නේ.
තරිඳු 1946න් පස්සේ ඉපදුන කෙනෙක් සහ 2003න් පස්සේ ජපානෙට ආව කෙනෙක් කියල හිතල අපි ගණන් හදමු. එතකොට අපිට A කොටස අවශ්‍ය වෙන්නේ නැහැ .
Pension = අවුරුදු 30 වාරික සාමාන්‍යය x ගුණාකාරය x Pension ගෙවන ලද මාස ගණන
Pension = 386,000 x (5,481/1000) x 360 = ¥761640
එහෙනම් තරිඳුට අවුරුදු 65දී Pension එක විදියට අවුරුද්දකට ¥761640ක් ලැබෙනවා, ඒ කියන්නේ මාසෙට ¥63,470ක්.
හැබැයි, මම මුලින්ම කිව්වා නේද 厚生年金保険 / Kosei Nenkin එකට ගෙවන අය 国民年金 / Kokumin Nenkin එකත් ගෙවනවා කියල. ඒ කියන්නේ තරිඳුට ඒකත් ලැබෙන්න ඕන.
එහෙනම් තරිඳුට ලැබෙන Pension එක වෙන්නේ ¥761640 + ¥612,000 = ¥1,373,640
ඒ කියන්නේ මාසෙට ¥114,470
එහෙනම් ඉතින්, ජපානයේ Pension එක හැදෙන හැටි සරල විදියට පැහැදිලි කරන්න දරපු උස්තසහයක් තමයි මේ. මේ ගැන ප්‍රශ්න තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න.
ඔයාලට ලැබෙන pension එක https://www.nenkin.go.jp/ එකට ගිහින් simulate කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 65ට කලින් pension එක ගන්නත් පුළුවන්, හැබැයි ලැබෙන මුදල අඩු වෙනවා.
ඉතින් විශ්‍රාම අරන් ලංකාවට ගියොත් සහ යන දවසට ලංකාවේ ජිවන වියදම ජපානෙට සාපේක්ෂව අඩුයි සහ යෙන් එකක් රුපියලක් හෝ ඊට වඩා වැඩි අගයක තිබුනොත් හොඳ විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන් වෙයි..
කතෘ අයිතිය සුරකින්න.
