පසුගිය නොවැම්බර් මස 15 වෙනිදා ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ කවුන්සිලය (විශ්‍රාම වැටුප් අනුකමිටුව) රැස් වෙච්ච සාකච්චාවකදී ජපානයේ Part Time වැඩ කරන අයට 社会保険 (Shakai Hoken) එක, එහෙම නැත්නම් සමාජ රක්ෂණ පද්ධතියට එකතුවෙන්න මේ වෙනකම් තිබුන අවුරුද්දකට කොල 106ක, එහෙම නැත්නම් මාසෙකට කොල 8.8ක උපරිම අදායම් මට්ටම ඉවත් කරන එක ගැන තව දුරටත් සලකා බලන්න සහ ඒ හා සම්බන්ධව අවශ්‍ය නීති වෙනස් කිරීම් වලට යොමු වෙන්න තීරණය කරලා තියනවා.
社会保険制度 (Shakai hokenseido) එක ගැන මම වෙනමම ලිපියක් ලියල තියනවා ඒකත් බලන්න.
මොකද්ද මේ කොල 106 උපරිම අදායම් සිමාව?
ඔයාල දන්නවා ජපානේ ජිවත් වෙන හැමෝම Health Insurance (健康保険 - Kenko hoken) එකට සහ අවුරුදු 20ට වැඩි අය විශ්‍රාම වැටුප් රක්ෂණය - Pension (年金 - Nenkin)ට එකතු වෙන්න ඕන කියල.
හැබැයි පොඩි ළමයි, අබාධිත පුද්ගලයින්, සිසුන් වගේ අයට විවිධ සහන රජය විසින් ලබාදීලා තියනවා. ඒ වගේම තමයි අදායම අනුවත් විවිධ සහන ලබාදීලා තියනවා, අන්න ඒ වගේ එකක් තමයි මේ Part Time වැඩ කරන අයට තියන කොල 106 සීමාව කියන්නේ.
ජපානයේ ජීවත්වෙන හැමෝම ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට කඩල තියනවා
- ස්වයං රැකියා වල නිරත වෙන අය / ව්‍යාපාරිකයින් / සිසුන්, etc…
- ආයතනයක රැකියාවක නිරත පුද්ගලයින්.
- ආයතනයක රැකියාවක නිරත වෙන පුද්ගලයින්ගේ යැපෙන්නන්.
මේ අයගෙන් පලවෙනි කාණ්ඩයේ ඉන්න අයට Kokumin Kenko Hoken - 国民健康保険 (National Health Insurance) එකට සහ Kokumin Nenkin - 国民年金 (National Pension System) එකට ගෙවන්න වෙනවා. මේක අනිවාර්යයි. ඉගෙනගන්න ළමයින්ට නම් එයාලගේ අදායම අනුව Pension එක නොගෙවා ඉන්න සහන ලැබෙනවා.
ඊළඟට දෙවෙනි කාණ්ඩයේ ඉන්න අය 会社員の社会保険制度 (Kaishain no shakai hōkenseido) එක හරහා Health Insurance (健康保険 - Kenko hoken)ට සහ Employee’s Pension Insurance (厚生年金保険 - Kosei Nenkin) එකට ඇතුලත් වෙනවා.
තුන්වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ මම මේ කලින් කිව්ව දෙවෙනි කාණ්ඩයට අයත් පුද්ගලයින්ගෙන් යැපෙන අය. මේ විදියට වෙනත් කෙනෙක්ගෙන් යැපෙන කෙනෙකුට Health Insurance සහ Pension එක ගෙවන්න නැහැ . හැබැයි ඒකට කොන්දේසි කිහිපයක් තියනවා.
- වාර්ෂික අදායම කොල 130කට වඩා අඩුවෙන්න ඕන (අවුරුදු 60ට වඩා වැඩි නම් කොල 180ට වඩා අඩු වෙන්න ඕන)
- පවුලේ එකට ජිවත් වෙන කෙනෙක් නම් අදායම් උපයන පුද්ගලයාගේ අදායමෙන් අඩකට වඩා අදායම අඩු විය යුතුයි.
- වෙනම ජිවත් වෙන කෙනෙක් නම් අදායම් උපයනනා වාර්ෂිකව ලබාදෙන මුදල් ප්‍රමාණයට වඩා අදායම අඩු විය යුතුයි.
දැන් මේ ඉහලින් කිව්වේ යපෙන්නෙක් එහෙම නැත්නම් Dependent කෙනෙක් විදියට ඉන්න නම් අවශ්‍ය වෙන සුදුසුකම් නේ. මේ සුදුසුකම් සම්පුර්ණ වෙලා ඉන්න කෙනෙකුට උනත් මෙන්න මේ පහලින් තියන කොන්දේසි සියල්ල සම්පුර්ණ වෙනවා නම් වෙනම 社会保険 (Shakai Hoken) එක ගෙවන්න වෙනවා, ඒ කියන්නේ pension එක සහ Health Insurance එකට තමන් විසින් වෙනම මුදල් ගෙවන්න වෙනවා.
- සතියකට පැය 20කට වඩා වැඩ කිරීම
- මාසික වේතනය යෙන් 88,000 කට එහෙමත් නැත්නම් වාර්ෂික අදායම යෙන් 1,060,000කට වඩා වැඩි වීම
- රැකියා අපේක්ෂාව මාස දෙකකට වඩා වැඩි වීම . සරලව කිව්වොත් මාස දෙකකට වඩා එකම තැන වැඩ කිරීම.
- ශිෂ්‍යයෙකු නොවීම.
- වැඩ කරන ස්ථානයේ සේවකයින් 51කට වඩා වැඩි නොවීම.
දැන් ඔයාලට පේනවා ඇති Dependent ඉන්න හැමෝම වගේ (ශිෂ්‍යයෝ ඇරෙන්න) මේකෙන් බේරෙන්න කරන දේ තමයි ආදායම balance කරන එක. එහෙමත් නැත්නම් කුඩා ප්‍රමාණයේ ආයතනයක වැඩ කරන එක.
දැන් මොකද වෙන්න යන්නේ?
රජය විසින් මේ අලුතින් ගේන්න යන නීතියත් එක්ක මේ කලින් කියල තියන “මාසික වේතනය යෙන් 88,000 කට එහෙමත් නැත්නම් වාර්ෂික අදායම යෙන් 1,060,000කට වඩා වැඩි වීම” සහ වැඩ කරන ස්ථානයේ සේවකයින් 51කට වඩා වැඩි නොවීම." කියන කොටස් ඉවත් වෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් උඩින් කියල තියන අනිත් කොන්දේසි සියල්ල සපුරනවා නම් ඒ පුද්ගලයට 社会保険 (Shakai Hoken) එකට ඇතුලත් වෙන්න වෙනවා.
සරල උදාහරණයකින්ම කියන්නම්කො, අපි හිතමු ලංකාවේ ඉඳල Dependent කෙනෙක් විදියට ආපු කෙනෙක් ඉන්නවා කියල, දැනට එයා සතියට පැය 28ක් වැඩ කරලා අවුරුද්දට කොළ 130ට වඩා අඩුවෙන් අරගෙන Husband ගේ යැපෙන්නෙක් විදියට 家族の社会保険 - Kazoku no shakai hoken එක යටතේ ඉන්නවා. දැන් මේ අලුතෙන් එන්න යන නීතියත් එක්ක මෙයා එකම තැන මාස දෙකකට වඩා සතියකට පැය 20කට වඩා වැඩ කරලා මාසෙට යෙන් 88,000කට වඩා පඩියක් ගත්තොත්, 家族の社会保険 - Kazoku no shakai hoken එකෙන් අයින් වෙලා වෙනම 社会保険 (Shakai Hoken) එක ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අදායමෙන් කොටසක් අඩු වෙනවා.
Pension එක ගැන මම වෙනම ලිපයක් ලියල තියනවා ඒකත් බලන්න.
මීට අමතරව Dependent විදියට ඉන්න අයට තවත් කොන්දේසි තියනවා. ඒවා ගැන විස්තර සහිතව අවශ්‍ය නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න. සරලව කිව්වොත්
- වාර්ෂික ආදායම කොල 103ට වැඩියි නම් වෙනම Income Tax ගෙවන්න වෙනවා
- වාර්ෂික ආදායම කොල 103ට වැඩියි නම් Dependent Deduction එක අඩු වෙනවා
- වාර්ෂික ආදායම කොල 103ට වැඩියි නම් 家族の社会保険 - Kazoku no shakai එකෙන් ඉවත් වෙලා වෙනම 社会保険 (Shakai Hoken) එක ගෙවන්න වෙනවා.
- වාර්ෂික ආදායම කොල 106ට වැඩියි නම් සහ කොන්දේසි සපුරනවා නම් 家族の社会保険 - Kazoku no shakai එකෙන් ඉවත් වෙලා වෙනම 社会保険 (Shakai Hoken) එක ගෙවන්න වෙනවා.
මෙන්න මේ 4 වෙනියට කියල තියන කොන්දේසිය තමයි ඉවත් කරන්න යන්නේ.
ඉදිරියේදී ඔයාල වැඩ කරන ආයතන වලින් පැය 20ට වඩා අඩුවෙන් වැඩ කරන්න කිව්වොත් පුදුම වෙන්න එපා. මොකද 社会保険 (Shakai Hoken) එකට ඇතුළු උනොත් වාරික වලින් කොටසක් ආයතනයටත් ගෙවන්න වෙනවා. ඉතින් Part Time විදියට වැඩ කරන අය නිතර ආයතන මාරු කරනවා, වැඩ කරන පැය ගණන් වෙනස් වෙන නිසා Document හදන වැඩ වලට එහෙම විශාල ගැටළු එන්න පුළුවන්. ඉතින් මේවගෙන් බේරෙන්න ආයතන වලින් වැඩ කරන පැය ගණන අඩු කරනවා වගේ වැඩ කරන්න පුළුවන්.
එහෙනම් ඉතින් මේ ලිපියෙන් ඔයාලගේ දැනුමට දෙයක් එකතුවෙන්න ඇති කියල හිතනවා. තවත් ලිපියකින් හමුවෙමු.
කර්තෘ අයිතිය සුරකින්න.
