දරු උපතකදී සිදුවන වියදම් අවම කරගැනීමට ලබාදෙන මුදල් දීමනාව. 出産育児一時金

දරු උපතකදී හෝ මල දරු උපතකදී සිදුවන වියදම් අවම කරගැනීමට ලබාදෙන මුදල් දීමනාව. 出産育児一時金

ජපානයේ ඔයාට තියන Health Insurance එකෙන් දරු ප්‍රසූතිය ආවරණය කෙරෙන්නේ නෑ, ඒක නිසා ඒ සඳහා යන සියලුම වියදම් ඔයාටම දරන්න සිදුවෙනවා. නමුත් මේ යන වියදම් වලට සහනයක් අපට ජපන් රජයෙ මූලිකත්වයෙන් Health Insurance එක මාර්ගයෙන් ලැබෙනවා. ඒ තමයි මුදලින් යෙන් 420,000ක්.

මේකට ඔයාගෙ වීසා වර්ගය හෝ Health Insurance එක බලපාන්නෙ නෑ. ඒ කියන්නෙ ඔයා Work Visa එකක් යටතේ වැඩ කරන කෙනෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් Dependent කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒ වගේම Health Insurance එක Kaishain no shakai hōkenseido 会社員の社会保険制度 (Employee Social Insurance) යටතේ දෙන Kenko Hoken 健康保険 හෝ Kokumin Kenko Hoken 国民健康保険 (National Health Insurance) දෙකටම මේක අදාලයි. ඔයාට තියෙන්නෙ 健康保険, එහෙම නැත්නම් සමාගමක රැකියාවක් කරන කෙනෙකුට සමාගම මැදිහත් වීමෙන් ලබාදෙන Health Insurance එකක් නම්, ඉහත කිව්ව යෙන් 420,000ට අමතරව තවත් මුදලක් ලැබෙන්න පුලුවන්. හුඟක් Insurance Companies යෙන් 50,000 සිට 200,000 දක්වා අමතර මුදලක් ලබා දෙනවා.

හරි අපි එහෙමනම් බලමු, මේ 420,000ක සම්පූර්ණ සහන මුදල ලබාගන්න තියන කොන්දේසි මොනවද කියල

දරු ප්‍රසූතිය සඳහා ඇතුලත් වෙන රෝහල හෝ චිකිත්සාගාරය මාතෘ වෛද්‍ය සත්කාර වන්දි යෝජනා ක්‍රමය (Maternity Medical Care Compensation Scheme) හි සාමාජික ආයතනයක් විය යුතුයි. එසේ නොමැති රෝහල් හෝ චිකිත්සාගාර මගින් දරු ප්‍රසූතිය සිදුකරගන්නා අයට ලබාදෙන්නේ යෙන් 404,000ක මුදලක් පමණයි.

ගැබ් කාලය සති 22හෝ ඊට වඩා වැඩි විය යුතුයි. ඒ කියන්නෙ සෞඛ්‍ය හේතුවක් මත නිසා හෝ සාමාන්‍ය විදියකට සති 22කට පසුව ගබ්සා වීමක් සිදුවුනත්, මලදරු උපතක් සිදුවුනත් මේ සම්පූර්ණ මුදල ලබාදෙනවා.

එසේ නොමැතිව සති 12ත් 22ත් අතර ගබ්සා වීමක් හෝ හදිසි දරු උපතක් සිදු උනොත් ලබාදෙන්නෙ යෙන් 404,000ක මුදලක් පමණයි.

සෑම දරු උපතකටම මේ මුදල ලබාදෙන අතර මේ උඩින් තියන කොන්දේසි වලංගුයි. හදිසියෙවත් නිවුන් දරුවො උපත ලැබුවොත් ඒ දෙන්නටම මේ මුදල වෙන වෙනම හම්බුවෙනවා.

ඊලඟ කාරනය තමයි කොහොමද මේකට අයදුම් කරන්නේ කියන එක. මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි Direct Payment System එක. මේකෙදි වෙන්නෙ ඔයා දරු ප්‍රසූතිය සඳහා රෝහලක් තීරනය කරාට පස්සෙ, අදාල ලියකියවිලි රෝහලට සහ Health Insurance ආයතනයට ලබාදුන්නම, රෝහලේ බිල ගෙවීමේදී මුලින්ම යෙන් 420,000 අඩු කරන එක. ඒ කියන්නෙ ඔයාට අතින් ගෙවන්න වෙන්නෙ අමතර වියදමක් තිබුනොත් විතරයි. මෙතනදි කියන්න තියන විශේෂ කාරනයක් තමයි අර 健康保険 එකක් තියන කෙනෙකුට ලැබෙන්න පුලුවන් කිව්ව අමතර මුදල මෙතනදි එකතු වෙන්නෙ නෑ. ඒක දරු ප්‍රසූතියෙන් පස්සෙ තමයි වෙනම හම්බුවෙන්නෙ.

දෙවෙනි ක්‍රමය තමයි රෝහල් බිල සම්පූර්නයෙන්ම ඔයාගෙ අතින් ගෙවල පසුකාලීනව ඒ බිල්පත් සමඟ අදාල ලියකියවිලි පුරවල දීලා අදාල මුදල ලබාගන්න එක. මෙන්න මේ ක්‍රමයෙදි නම් 健康保険 එකෙන් අමතර මුදලක් ලබාදෙනවා නම් ඒකත් එක්කම තමයි දෙන්නෙ.

තව විශේෂ කාරනාවකුත් තියනවා, ඔයා ජපානෙ ඉන්නකොට ගැබ් අරගෙන, ගැබිනියක් විදියට ජපානයේ ලියාපදිංචි වෙලා ලංකාවට ගිහින් එහෙදී දරු ප්‍රසූතිය සිදු උනත් ඔයාට මේ සහන මුදල ලබාගන්න පුලුවන්.

මෙහෙම අවස්තාවකදී අවශ්‍ය වෙන ලියකියවිලි නම් Insurance Company එක

සහ රැකියාව කරන ආයතනය අනුව වෙනස් වෙනවා, ඒත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ පහලින් තියන ලියකියවිලි ඔයාට ලංකාවෙන් අරගෙන එන්න වෙනවා.

ළමයාගේ උප්පැන්නය

උප්පැන්නයේ ජපන් භාශා පරිවර්තනයක්

ලංකාවට ගිය බව ඔප්පු කිරීම සඳහා ගමන් බලපත්‍රයේ සහ ගුවන් ටිකට්පතේ කොපියක්.

දරු ප්‍රසූතිය සිදුකරන ලද රෝහලෙන්, එම රෝහලේදි ඔයාගෙ දරු ප්‍රසූතිය සිදු කල බවත් අවශ්‍ය වූ විටෙක එය ඔප්පු කිරීමට හැකි බවත් සඳහන් කරන ලද ලිපියක්.

රෝහලේ බිල සහ දරු ප්‍රසූතිය සඳහා ඔබ විසින් කරන ලද වෙනත් වියදම් වල බිල්පත්.

මෙතනදී සඳහන් කරන්න තියන විශේෂම කාරණාව තමයි ඔයාට ලංකාවෙදි ඉතා සුලු මුදලක් වියදම් වෙලා තිබුනත්, ජපානයෙන් ලැබෙන්න තියන මුලු මුදලම කිසිම අඩුවක් නැතුව ලැබෙනවා.

1 Like