SSW කියන්නේ සරලවම කිව්වොත් ජපානයේ දැනට තියන ශ්‍රමික හිඟය යම්තාක් දුරකට පාලනය කිරීම සඳහා වෙනත් රටවල් කිහිපයකින් පුහුණු ශ්‍රමිකයින් රැකියාව සඳහා ජපානයට ගෙන්වා ගැනීමට හඳුන්වාදෙන ලද වැඩසටහනක්.
ජපානය විසින් SSW වීසා එක හඳුන්වාදෙනතාක් වෙනත් රටවල් වලින් ශ්‍රමිකයින් ගෙන්වීම සඳහා විශේෂයෙන් වෙන් කරන ලද වීසා එකක් තිබුනේ නැහැ. Skilled Labor සහ Trainee වීසා තිබුනත් ඒවාට රජයේ මැදිහත්වීම අවම මට්ටමක තිබුනේ. ඉතින් ජපානයේ ආයතන වලට අවශ්‍යතාව තිබුනත්, ජපන් භාෂාව කතා කිරීමට හැකි පුහුණු ශ්‍රමිකයින් හොයාගෙන රැකියාවට ගැනීමට ගොඩක් ආයතන වලට අපහසු වුණා. ඒ වගේම තමයි වෙනත් රටක ජිවත් වෙන කෙනෙකුට උනත් ජපානයේ රැකියාවක් සොයාගැනීම ඉතාමත් අපහසු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදියට තමයි SSW වීසා එක රජයේ මැදිහත්වීමෙන් හඳුන්වල දීල තියෙන්නේ.
මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. ජපන් රජය විසින් SSW වීසා සඳහා අත්වැල් බැඳගත්ත වෙනත් රටවල් වල රජයන් සමඟ සම්බන්ධ වෙලා තෝරාගත් ක්ෂේත්‍ර 14ක ජපානයේ රැකියාව කිරීමට කැමති පුද්ගලයින් ඇගයීම කරනු ලබනවා. මේ සඳහා ජපන් භාෂාව සහ රැකියාව කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයේ නිපුණතා පරීක්ෂණය සමත් විය යුතුයි. හැබැයි Trainee වීසා එකකින් ජපානයට ඇවිත් Technical Internship එක සාර්ථකව සම්පුර්ණ කරලා දැනට ජපානයේ හෝ තමන්ගේ මව් රටේ ජිවත් වෙන කෙනෙකුට මේ ජපන් භාෂාව සහ නිපුණතා පරීක්ෂණයට සහභාගී වීම අවශ්‍ය වෙන්නේ නෑ. මේක ටිකක් පැටලිලි සහගත නිසා වෙනම විස්තර කරන්නම්.
Technical Internship වීසා යටතේ දැනට ජපානයේ ඉන්න කෙනෙක් නම්,
-
දැනට කරන රකියාවම එම ආයතනයේම හෝ වෙනත් ආයතනයක SSW වීසා එකට හරවාගෙන දිගටම කරගෙන යන්න අවශ්‍යයි නම් ජපන් භාෂාව සහ නිපුණතා පරීක්ෂණය කිරීමට අවශ්‍ය නැහැ.
-
දැනට රැකියාව කරන ආයතනයේම හෝ වෙනත් ආයතනයක වෙනත් ක්ෂේත්‍රයක රැකියාව කිරීමට අවශ්‍යයි නම්, ඒ ක්ෂේත්‍රයට අදාළ නිපුණතා පරීක්ෂණය සමත් විය යුතුයි.
Technical Internship එක සාර්ථකව සම්පුර්ණ කරලා දැනට ලංකාවේ ඉන්න කෙනෙක් නම්,
-
Technical Internship එක සම්පුර්ණ කරපු ක්ෂේත්‍රයේම රැකියාව කිරීමට නම් ජපන් භාෂාව සහ නිපුණතා පරීක්ෂණය කිරීමට අවශ්‍ය නැහැ.
-
Technical Internship එක සම්පුර්ණ කරපු ක්ෂේත්‍රයට වෙනස් ක්ෂේත්‍රයක රැකියාව කිරීමට අවශ්‍යයි නම්, ඒ ක්ෂේත්‍රයට අදාළ නිපුණතා පරීක්ෂණය සමත් විය යුතුයි.
ඊළඟට, ජපන් භාෂාව හැසිරවීම මනින්න ප්‍රධාන වශයෙන් විභාග දෙකක් තියනවා, JLPT සහ JFT. මේ දෙකේ ප්‍රධාන වෙනසක් වෙන්නේ විභාගය පවත්වන කාල සීමාව JLPT සඳහා වසරකට දෙපාරක් සහ JFT සඳහා වසරකට 6 පාරක් වීම. JLPT විභාගය තෝරාගන්නවා නම් එකේ N4 කියන මට්ටම සමත් වෙන්න ඕන.
තව පොඩි දෙයක් සඳහන් කරන්න ඕන. මේ විභාග දෙකෙන් එකක් වත් අනිවාර්යයෙන් ලංකාවේ ඉඳන් කරන්න ඕන කියල නෑ. ඔයා දැනටමත් මේ විභාග පවත්වන වෙනත් රටක ජිවත් වෙන කෙනෙක් නම් හෝ, එවැනි රටකට ගිහින් විභාගය ලියන්න හැකියාවක් තියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව විභාගයට පෙනීසිටින්න පුළුවන්. දැනට ලංකාවේ මේ ක්ෂේත්‍ර 14ටම අදාල විභාග පවත්වන්නේ නැහැ. ඉතින් එහෙම එහෙම පවත්වන්නේ නැති ක්ෂේත්‍රක විභාගයක් අවශ්‍ය නම් වෙනත් රටකට ගිහින් ලියන්න පුළුවන්.
ඉතින් මේ විදියට විභාග දෙකම සමත් වුන කෙනෙකුට තමන් දන්නා අඳුනන කෙනෙක් මාර්ගයෙන් හෝ, ලියාපදිංචි ඒජන්සියක් මගින් හෝ, තනිවම අන්තර්ජාලය මගින් හෝ ජපානයේ තියන SSW වීසා සඳහා සේවා සපයන ආයතනයක් මගින් රැකියාව කිරීම සඳහා කොම්පැනියක් හොයාගන්න පුළුවන්. මේ කොම්පැනි වලින් පොඩි සම්මුඛ පරීක්ෂණයක් තියනවා ඔයාගේ personality එක සහ රැකියාවට අදාළ දැනුම තියනවද බලන්න. ඒක සමත් උනොත්, අදාල කොම්පැනිය විසින් ඔයාට රැකියාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කරලා ඔයාව ජපානෙට ගෙන්න ගන්න අවශ්‍ය වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා. ලිපිය දීර්ග වෙන නිසා වීසා ලබාදෙන ක්‍රමවේදය මෙතන විස්තර නොකර ඉන්නම්.
මෙහෙම ඔයාව රැකියාවකට ගන්න ආයතනය ඔයාට ජපානයේ ජිවත් වීම සඳහා උදව් කරන්න නීතියෙන් බැඳිලා ඉන්නවා. සරලව කිව්වොත්,
-
ජපානෙට එන්න කලින් සමාගමේ සහ රැකියාවේ තත්වය, ඔයාගෙන් බලාපොරොත්තු වෙන වැඩ මොනවද කියන දේ පිළිබඳව විස්තරයක් ලබාදෙන්න ඕන.
-
ඔයා ජපානෙට එනකොට සහ ජපානයෙන් පිටවෙන අවස්ථාවලදී ඔයාව ගුවන්තොටුපල වෙත එක්කන් එන්න/යන්න ඕන.
-
ජපානයේ ජිවත් වෙනකොට අවශ්‍ය වෙන ගෑස්, විදුලිය, ජංගම දුරකතනය, බැංකු ගිණුම් ලබාගන්න උදව් කරන්න ඕන.
-
බදු ගෙවීම් වගේ දේවල් වලට රජයේ ආයතන වලට යන්න අවශ්‍ය වෙන විටදී ඔයාට සහය වෙන්න ඕන.
-
ජපන් භාෂාව තවදුරටත් ඉගෙනගන්න ඔයාට සහය වෙන්න ඕන.
-
ජපනයේ ජිවත් වෙන්නේ කොහොමද, පොදු ප්‍රවාහන් සේවා, රාජ්‍ය ආයතන වගේ දේවල් ගැන ඔයාව දැනුවත් කරන්න ඕන.
-
ඔයාට රැකියාව කිරීමේදී හෝ ජපානයේ ජිවත් වීමේදී ඇතිවන ගැටළු සාකච්චා කිරීම සඳහා සැසි පවත්වන්න ඕන.
-
ජපන් ජාතිකයින් එක්ක සන්නිවේදනය කරන්න උදව් කරන්න ඕන.
-
රැකියාවෙන් ඉවත් කිරීමට අදහස් කරනවා නම්, වෙනත් ආයතනයක රැකියාව ලබාගැනීමට උදව් කරන්න ඕන.
-
සෑම මාස තුනකටම වරක් සමාගමේ කාර්ය භාර කළමනාකරු එක්ක සාකච්ඡාවක් පවත්වල ඔයාගේ ගැටළු වලට විසඳුම් ලබාදෙන්න ඕන.
මේ කියල තියන දේවල් වලට ආයතනය උදව් කරේ නැත්නම් ඔයාට නීති සහය ලබාගන්න පුළුවන්.
දැන් බලමු SSW වීසා සඳහා ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල.
SSW වැඩසටහනේ කොටස් දෙකක් තියනවා.
විශේෂිත නිපුණතා සේවක (i)
විශේෂිත නිපුණතා සේවක (ii)
විශේෂිත නිපුණතා සේවක (i)
මෙන්න මේක තමයි හැමෝටම ලේසියෙන් සම්බන්ධ වෙන්න පුළුවන් විදියට ක්ෂේත්‍ර 14ක රැකියාවන් ලැයිස්තු ගතකරලා තියෙන්නේ.
-
මේ වීසා එකක් ලබාගන්න නම් ඔයාගේ වයස අවුරුදු 18ට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම SSW (i) යටතේ ජපානයේ කලින් වැඩ නොකළ කෙනෙක් විය යුතුයි.
-
මේ වීසා එක සඳහා වසර 5ක වීසා කාලයක් තමයි ලබාදෙන්නේ. හැබැයි මේ වසර 5ම ඔබට එකවර ලැබෙන්නේ නැහැ. කරන රැකියාව සහ ආයතනයේ ප්‍රමාණය මත මාස 4, 6 හෝ මාස 12ක් වශයෙන් තමයි වීසා ලැබෙන්නේ. වීසා කල් ඉකුත්වීමට පෙර නැවත අලුත් කරගන්න ඕන. මේ විදියට මුළු කාලය අවුරුදු 5ක් ජපානයේ රැකියාව කරන්න පුළුවන්.
-
ජපානයේ අනිත් ශ්‍රමිකයින්ට ලැබෙන වැටුප හා සමාන වැටුපක් ඔබටත් ලැබෙනවා.
-
මේ වීසා එකේ ඉන්නකොට ඔයාට පවුලේ අය ජපානයට එක්කන් එන්න අවස්තාව ලැබෙන්නේ නැහැ.
හැබැයි මේ නීති ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. එකට හේතුව තමයි ජපානය අපේක්ෂා කරපු මට්ටමට තවමත් ශ්‍රමිකයින් ජපානයට ගෙන්වා ගැනීමට නොහැකි වීම. හැබැයි ඉතින් මේ නීති වෙනස් වෙන්න කොපමණ කල් යයිද කියල කියන්න බෑ.
විශේෂිත නිපුණතා සේවක (ii)
මේ වීසා එක ටිකක් විශේෂයි, මොකද මේක ලබාදෙන්නේ ක්ෂේත්‍ර දෙකක් සඳහා පමණයි.
-
ඉදිකිරීම් කර්මාන්තය
-
නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත
මෙන්න මේ වීසා එකට නම් උපරිම කාලසීමාවක් නැහැ. ඒ කියන්නේ රැකියාවක් තියනකම් වීසා එක අලුත් කරමින් ජපානයේ ජිවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අවුරුදු 10ක් ජපානයේ ජිවත් උනාට පස්සේ PR එක සඳහා අයදුම් කරන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ සැමියා/බිරිඳ සහ දරුවන් ඔයාගෙන් යැපෙන්නන් විදියට ජපානයට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම බිරිඳ හෝ සැමියාට සතියට පැය 28ක් දක්වා part time රැකියාවක උනත් නිරතවෙන්න පුළුවන්.
අවසානයට කියන්න තියෙන්නේ, SSW වීසා මගින් හෝ වෙන ඕනෑම වීසා එකක් මගින් ජපානයේ රැකියාවකට එනවා නම් මේ පහලින් තියන දේවල් වලට ඔයාගේ පඩියෙන් ගෙවන්න වෙනවා. ඒක නිසා ආයතනයක් සමඟ ගිවිසුම් අත්සන් කරද්දී ඒවා ගැන හොඳ අවබෝධයක් ලබාගෙන අත්සන් කරන්න.
-
විශ්‍රාම වැටුප - Pension
-
සෞඛ්‍ය රක්ෂණය - Health Insurance
-
සේවා නියුක්ති රක්ෂණය - Employment Insurance
-
කර්මාන්ත අනතුරු රක්ෂණය - Industrial Accident Insurance (රැකියාව අනුව)
-
ආදායම් බදු - Income Tax
-
නේවාසික බදු (ජීවත්වෙන නගරයේ බදු) - Resident Tax
මේවා ගැන විස්තර සහිතව වෙනම ලිපි මම ලියල තියනවා, ඒවා බලලා අදහසක් ගන්න.
Social Insurance / 社会保険 (Shakai Hoken)
社会保険制度 (Shakai hokenseido) / Social Insurance System in Japan - සමාජ රක්ෂණ පද්ධතිය - General - OhayoTalks
ආදායම් බදු
ජපානයේ අදායම් බදු ගණනය කරන්නේ මෙහෙමයි - General - OhayoTalks
PR - ස්ථිර පදිංචිය
Japan PR - ජපානයේ ස්ථිර පදිංචිය - Japan Visa - OhayoTalks
විශේෂයෙන් කියන්නම ඕන කාරණයක් තියනවා. SSW කියන්නේ ජපානයට ශ්‍රමිකයින් (Labor) ගෙන්වා ගැනීමට හඳුන්වලදීපු වැඩසටහනක්. ඉතින් ඔයාට උපාධියක් තියනවා නම්, දැනටමත් හොඳ රැකියාවක නිරත වෙනවා නම්, ජපානයට ඇවිත් ලොකු පඩියක් අරගෙන බිරිඳ/සැමියා සහ දරුවනුත් ජපානෙට අරගෙන සැපසේ ජීවත්වෙන්න පුළුවන් (හැමෝම කියන විදියට “ආතල් එකේ”) වගේ මානසිකත්වයකින් SSW වැඩසටහනට යොමු වෙන්න එපා. එහෙම තමන්ගේ උගත්කමින් රැකියාවක් හොයනවා නම් වෙනත් රටකට අයදුම් කරන එක තමයි හොඳම දේ.
එහෙනම් ඉතින් මේ ලිපිය කියවල SSW වීසා ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා. මේ කියල තියන කරුණු සම්බන්ධව ප්‍රශ්න තියනවා නම් Reply එකක් දාන්න. පුළුවන් විදියට පිළිතුරු දෙන්නම්.