ජපානයේ අදායම් බදු ගණනය කරන්නේ මෙහෙමයි

ජපානයේ වැඩ කරන ගොඩක් අය කතා කරන, ඉතාමත් ගැටළු සහගත සංකීර්ණ ක්‍රමවේදයක් සහිත දෙයක් තමයි මේ ආදායම් බද්ද කියන්නේ. හුඟ දෙනෙක් කියන්නේ නම් ජපානයේ මේ ආදායම් බද්ද ඉතාමත් වැඩියි කියලා. ඉතින් අද අපි මේකේ ඇත්ත නැත්ත සහ මෙම ආදායම් බද්ද ගණනය කරන්නේ කොහොමද කියලා බලමු.

ජපාන රජය මගින් ආදායම මත පනවන බදු ප්‍රතිශතය මෙන්න මේ පහල තියන Japan Tax Agency වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරලා තියනවා.

https://www.nta.go.jp/…/shir…/taxanswer/shotoku/2260.htm

හුඟ දෙනෙක් කරන වැරද්දක් තමයි මෙන්න මේ පිටුව බලලා තමන්ගේ වාර්ෂික ආදායම අනුව ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරන එක. මේක ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. උදාහරණයක් විදියට ගත්තොත් වාර්ෂික ආදායම 3,300,000円 ත් 6,949,000円 අතර කෙනෙකු සිතන්නට පුළුවන් තමන් ගෙවිය යුතු ආදායම් බද්ද 20%ක් වැනි ඉහල අගයක් ගන්නව කියල නමුත් එක වැරදියි.

අදායම් බද්ද ගණනය කරන්න කලින්, ජපන් රජය විසින් අපේ වාර්ෂික ආදායමෙන් කොටසක් අයින් කරනවා. එය අනු කොටස් දෙකකට බෙදෙනවා, අදාළ පුද්ගලයාට තිබිය හැකි වියදම් සලකා බැලීමෙන් එක් කොටසක් සහ මුලික අඩුකිරීමක් ලෙස තවත් කොටසක් මෙසේ ඉවත් කරනු ලබනවා. අදායම අනුව අඩු කරන කොටස මේ පහල තියන වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.

https://www.nta.go.jp/…/shir…/taxanswer/shotoku/1410.htm

උදාහරණයක් ලෙස ගත්තොත් වාර්ෂික ආදායම 1,800,001円 ත් 3,600,000円 අතර අගයක් ගන්න අයෙකුගෙන් ආදායමෙන් 30% සහ 80,000円 ක් මෙසේ අඩු කරනු ලබනවා.

මුලික අඩු කිරීමේ කොටස ජපානයේ වෙසෙන බොහෝ දෙනෙකුට එකම අගයක් ගන්නවා, ඒ කියන්නේ 480,000円 ක්. මොකද ඒ අගය වෙනස් වෙන්න නම් ආදායම 24,000,000円 ට වඩා වැඩි වෙන්න ඕන.

එහෙම නම් අපි බලමු වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) ගන්න පුද්ගලයෙකුගේ ආදායම් බද්ද සැකසෙන්නේ කොහොමද කියලා.

  1. ඉස්සෙල්ලම ආදායම අනුව අඩුවෙන මුදල බලමු.

වාර්ෂික ආදායම 1,800,001円 ත් 3,600,000円 ත් අතර නිසා

අඩුවන මුදල = (3,360,000 x 30%) + 80,000

ඒ කියන්නේ 1,088,000円

  1. මුලික අඩු කිරීම 480,000円ක්

මේ දෙකේම එකතුව වෙන්නේ 1,568,000円 ක්. එහෙනම් මේ අගය වාර්ෂික ආදායමෙන් අඩු කරාම තමයි ආදායම් බදු ගණනය කිරීම සඳහා යොදාගන්නා අගය එන්නේ.

ආදායම් බදු සඳහා යොදාගන්නා අගය = 3,360,000 - 1,568,000円

ඒ කියන්නේ 1,792,000円.

ඉතින් මේ අගය බැලුවම ඔබට පේනවා ඇති ඉහල අපි උදාහරණයට ගත්ත ආදායම තියෙන පුද්ගලයෙකුට ආදායම් බද්ද වදින්නේ වාර්ෂික ආදායමෙන් භාගයකට ආසන්න අගයකට.

එහෙනම් අපි බලමු ඉහත උදාහරණයට අදාල ආදායම ඇති පුද්ගලයෙකුගේ ආදායම් බද්ද. ඒකට මම පළමුවෙන්ම දීපු වෙබ් පිටුවේ ඇති වගුව බලන්න.

ආදායම් බද්ද ගණනය කරන අගය = 1,792,000円

මෙම අගය වැටෙන්නේ 1,000円 ත් 1,949,000円 අතරට. එහෙනම් ආදායම් බදු ප්‍රතිශතය වෙන්නේ 5%

ආදායම් බද්ද = 1,792,000 * 5%

ඒ කියන්නේ 89,600円.

මෙතන 5% ට අමතරව තවත් අඩු කිරීමේ අගයක් නැහැ. අදායම් බද්ද ගණනය කරන අගය 1,949,000円 ට වඩා වැඩි නම් බදු ප්‍රතිශය ගණනය කරාට පස්සේ එයිනුත් අඩු කල යුතු අගයක් වෙබ් පිටුවේ සඳහන් කරලා තියනවා. එකත් මතක තියාගන්න. උදාහරණයක් විදියට 1,950,000円 ත් 3,299,000円 අතර අගයක් බදු ගණනය කිරීමට තියනවා නම්, බදු ප්‍රතිශතය වෙන්නේ 10%. නමුත් මෙහෙම 10% ගණන් හැදුවට පස්සේ ඒ අගයෙන් තවත් 97,500円 ක් අඩු කරාම තමයි ආදායම් බද්ද හැදෙන්නේ.

වාර්ෂිකව 3,360,000円 ක ආදායමක් ලබන පුද්ගලයෙකුට මෙම 89,600円ක් වන ආදායම් බද්ද ඉතා විශාල අගයක්ද වෙන්නේ නම් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තමයි ජපානයේ ආදායම් බද්දට අමතරව තවත් බදු ගෙවන්න තියනවා.

ඔයා ආයතනයක වැඩ කරන පුද්ගලයෙන් නම් ඔයාගේ මාසික පඩියෙන් රක්ෂණ ආවරණය, පෙන්ෂන් එක, විරැකියා ආවරණය සඳහා අඩු කිරීම් කරනවා ඇති. අන්න එවැනි අවස්ථා වලදී එලෙස මාසිකව එකතු කරගත් සියලු මුදල්ද මුලික අඩු කිරීමේ කොටසට එකතු කරලා තමයි ආදායම් බද්ද සකසන්නේ. ඒ කියන්නේ 480,000円 + මාසිකව ගෙවන ලද අගයන්ගේ එකතුව.

ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාට මෙම ආදායම් බදු වාර්ෂිකව ගෙවනවාට වඩා මාසිකව තමන්ගේ පඩියෙන් අඩු කරගන්නත් හැකියාව තියනවා. එහෙම කරද්දී වෙන්නේ පසුගිය අවුරුද්දේ ඔයාගේ ආදායම් බදු අනුව මේ වසරේ එයට සමාන අගයක් අනුමාන කරලා මාසිකව කොටස් වශයෙන් ඔයාගේ පදීයෙන් අඩු කරගන්න එක. මෙහෙම මාසිකව ගෙවපු අගය ඔයාගේ ආදායම් බදු මුදලට වඩා වැඩියි නම් ඒ මුදල නැවත ඔයාට දෙසැම්බර් මාසයේදී ටැක්ස් රිටර්න් වශයෙන් ගන්න පුළුවන්.

මම මේ ඉහලින් සඳහන් කරලා තියෙන්නේ තනියෙන් ජිවත්ව අදායම් ලබන පුද්ගලයෙකුගේ ආදායම් බදු සැකසෙන විදිය විතරයි. මෙම බදු අඩු කරගන්න වගේම ගෙවන බදු නැවත ලබාගන්නත් විවිධ ක්‍රම තියනවා. ඒවා ගැනත් පුළුවන් වෙලාවට පොස්ට් එකක් දාන්නම්.

මේ ගැන විස්තර සහිතව YouTube වීඩියෝවක් කරලා තියනවා. ඒකත් බලන්න.

2024 අවුරුද්දට විතරක් වෙනම flat rate tax deduction එකක් ඇවිල්ල තියනවා. ඉතින් අවුරුද්ද අන්තිමට දෙන Withholding slip එකේ මේක ඔයාලට බලාගන්න පුළුවන්.

සරලවම කිව්වොත් ජපානේ ජීවත්වෙන බදු ගෙවන පුද්ගලයින්ට අදායම් බදු වලට යෙන් 30,000ක් සහ නේවාසික බදු (Resident tax) වලට යෙන් 10,000ක් වශයෙන් සහනයක් ලබාදීලා තියනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට යෙන් 40,000ක්.

අපි හිතමු ඔයා පවුලත් එක්කම ජිවත් වෙන්නේ කියල, බිරිඳ/සැමියා (dependent) සහ ඉස්කෝලේ යන වයසේ ළමයෙක් එක්ක කියල. එහෙමනම් මේ ලැබෙන සහනය යෙන් 120,000ක්. මේකෙන් Income Tax කොටස වෙනමත් Resident Tax කොටස වෙනමත් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ Withholding Slip එකේ දකින්න ලැබෙන්නේ යෙන් 90,000ක්‌ විතරයි.

මේක 2024 අවුරුද්දේ මාසිකව ඔයාගේ salary එකෙන් කොටස් වශයෙන් අඩුවෙලා තියෙන්න පුළුවන්, එහෙම කරලා නැත්නම් annual tax deduction කියල ඔයාගේ Salary income withholding slip (給与所得の源泉徴収票) එකේ පෙන්නයි.