ජපානයේ Resident Tax එක

අද ලිපියෙන් ජපානයේ Resident Tax එක ගණන් හදන්නේ කොහොමද බලමු.

මම කලින් ලිපියක ජපානයේ ආදායම් බදු ගණනය කරන ආකාරය පැහැදිලි කරා. ඒ ලිපිය බැලුවේ නැත්තන් ඒකත් බලලා බදු හදන ආකාරය ගැන දල අදහසක් ගන්න.

ජපානයේ අදායම් බදු ගණනය කරන්නේ මෙහෙමයි - General - OhayoTalks

අද එහෙනම් කතා කරමු Resident Tax ගැන.

ජපානයේ Resident Tax එක සරලව ගත්තොත් වාර්ෂික ආදායමෙන් (අදාළ අඩු කිරීම් වලින් පසුව) 10%ක් විදියට තමයි ගණන් හැදෙන්නේ. ඒක හැදෙන්නේ Municipal/City Tax සහ Prefectural Tax යන දෙකේ එකතුවෙන්. බොහෝ ප්‍රදේශ වල මේ දෙකේ අනුපාතය 6:4 (Municipal/City Tax : Prefectural Tax) විදියට තමයි තියෙන්නේ, නමුත් සමහර ප්‍රදේශ වල 8:2 වගේ අනුපාතයටත් ගණන් හැදෙනවා. ඒ කොහොම උනත් අපිට ගෙවන්න තියෙන්නේ 10%ක්.

දැන් බලමු කොහොමද මේ Resident Tax එක ගණන් හැදෙන්නේ කියල.

ඉස්සෙල්ලම අපි අපේ වාර්ෂික ආදායමට අනුව අඩු කරන මුදල කීයද කියල ගණන් හදල ඉන්න ඕන. මේ ගැන විස්තර සහිතව මම ආදායම් බදු හදන හැටි ගැන කියල තියන ලිපියේ සඳහන් කරලා තියනවා.

අදායම අනුව අඩු කරන කොටස මේ පහල තියන වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.

No.1410 給与所得控除|国税庁 (nta.go.jp)

උදාහරණයක් ලෙස ගත්තොත් වාර්ෂික ආදායම 1,800,001円 ත් 3,600,000円 අතර අගයක් ගන්න අයෙකුගෙන් ආදායමෙන් 30% සහ 80,000円 ක් මෙසේ අඩු කරනු ලබනවා.

ඊළඟට Resident Tax සඳහා ජපානයේ ජිවත් වන හැමෝටම මුලික අඩු කිරීමක් ලෙස 430,000円ක් අඩු කරනවා.

එහෙම නම් අපි බලමු වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) ගන්න පුද්ගලයෙකුගේ Resident Tax සැකසෙන්නේ කොහොමද කියලා.

  1. ඉස්සෙල්ලම ආදායම අනුව අඩුවෙන මුදල බලමු.

වාර්ෂික ආදායම 1,800,001円 ත් 3,600,000円 ත් අතර නිසා

අඩුවන මුදල = (3,360,000 x 30%) + 80,000

ඒ කියන්නේ 1,088,000円

  1. මුලික අඩු කිරීම 430,000円ක්

මේ දෙකේම එකතුව වෙන්නේ 1,518,000円 ක්. එහෙනම් මේ අගය වාර්ෂික ආදායමෙන් අඩු කරාම තමයි Resident Tax ගණනය කිරීම සඳහා යොදාගන්නා අගය එන්නේ.

Resident Tax සඳහා යොදාගන්නා අගය = 3,360,000 - 1,518,000円

ඒ කියන්නේ 1,842,000円.

ඉතින් මෙන්න මේ අගයෙන් 10%ක් තමයි Resident Tax එක වෙන්නේ.

1,842,000 x 10% = 184,200円

වාර්ෂික ආදායම 3,360,000円 වෙන කෙනෙක්ගේ ආදායම් බද්ද වෙන 89,600円 කට වඩා දෙගුණයකටත් වඩා Resident Tax එක වැඩියි. මේක නිසා රපන් රජය තවත් පොඩි අඩු කිරීමක් ආදායම් බදු සහ Resident Tax වල මුලික අඩුකිරීම් මත ලබාදෙනවා.

සරලව කිව්වොත් ආදායම් බදු සහ Resident Tax වල මුලික අඩුකිරීම් වල වෙනසෙන් 5%ක් Resident Tax එකෙන් අඩු කරනවා.

ආදායම් බදු වල මුලික අඩු කිරීම 480,000円

Resident Tax වල මුලික අඩු කිරීම 430,000円

ඒ කියන්නේ වෙනස 50,000円.

50,000円 න් 5% ක් කියන්නේ 2500円.

එහෙනම් අපි මේ ගණන් හදපු කෙනාගේ Resident Tax එක වෙන්නේ 184,200円 - 2500円 = 181,700円

හැබැයි මේක ඔයාගේ Resident Tax ගණනය කිරීම සඳහා යොදාගන්නා මුදල අනුව වෙනස් වෙනවා. ඒ අගය මිලියන දෙකට වඩා වැඩි අගයක් නම් ගණන් හැදීමේ ආකාරය වෙනස් වෙනවා. 2500円 වෙනුවට ඊට වඩා වැඩි හෝ අඩු අගයක් වෙන්න පුළුවන්.

ඒක නිසා ඒ ගැන වැඩි දුරට විස්තර කරන්න යන්නේ නෑ. සරලව මතක තියාගන්න ඕන දේ තමයි අපේ Resident Tax ගණනය කිරීම සඳහා යොදාගන්නා අගයෙන් 10% කට ආසන්න අගයක් තමයි Resident Tax එක විදියට ගණන් හැදෙන්නේ.

ඔයා ආයතනයක වැඩ කරන පුද්ගලයෙන් නම් ඔයාගේ මාසික පඩියෙන් රක්ෂණ ආවරණය, පෙන්ෂන් එක, විරැකියා ආවරණය සඳහා අඩු කිරීම් කරනවා ඇති. අන්න එවැනි අවස්ථා වලදී එලෙස මාසිකව එකතු කරගත් සියලු මුදල්ද මුලික අඩු කිරීමේ කොටසට එකතු කරලා තමයි ආදායම් බද්ද සකසන්නේ. ඒ කියන්නේ 430,000円 + මාසිකව ගෙවන ලද අගයන්ගේ එකතුව.

ඒ වගේම ඔයා මත යැපෙන (Dependent), අවුරුදු 16ට වඩා වයස කෙනෙක් ජපානේ ජිවත් වෙනවා නම්, එක පුද්ගලයෙක් සඳහා 330,000円 ක්. (කොන්දේසි සහිතයි)

ජපානයෙන් පිටත ඔයාගෙන් යැපෙන පවුලේ කෙනෙක් ඉන්නවා නම් සහ එයාලගේ වියදමට ජපානයේ සිට මුදල් යවනවා නම්, ඒ එක පුගලයෙක් සඳහා 330,000円 ක්. (කොන්දේසි සහිතයි).

මේ ගැන මම වෙනම ලිපියක් ලියල තියනවා, ඒකත් බලන්න.

ජපානේ ඉඳන් පවුලේ අයට සල්ලි යවනවා නම් tax එක අඩු කරගන්න පුළුවන් - General - OhayoTalks

මේ විදියට අපේ මුලික අඩු කිරීමේ අගය වැඩි කරගන්න පුළුවන්. එතකොට Resident Tax ගණනය කිරීම සඳහා යොදාගන්නා මුදල විශාල වශයෙන් අඩු වෙනවා.

එහෙම නම් අපි බලමු ආයතනයක රැකියාව කරන වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) වෙන බිරිඳ සමඟ ජපානයේ ජිවත් වන, වාර්ෂිකව තම මවගේ වියදම සඳහා මුදල් යවන පුද්ගලයෙකුගේ Resident Tax සැකසෙන්නේ කොහොමද කියලා.

  1. ආදායම අනුව අඩුවෙන මුදල = 1,088,000円

  2. රක්ෂණ ආවරණය, පෙන්ෂන් එක, විරැකියා ආවරණය සඳහා ගෙවීම් = 470,000円 (ගණනය කිරීම සඳහා යොදාගන්නා අගයක් පමණි)

  3. මුලික අඩු කිරීම = 430,000円

  4. බිරිඳ සඳහා අඩු කිරීම = 330,000円

  5. ශ්‍රී ලංකාවේ වෙසෙන මව සඳහා අඩු කිරීම = 330,000円

මේ සියල්ලේම එකතුව වෙන්නේ 2,648,000円 ක්. එහෙනම් මේ අගය වාර්ෂික ආදායමෙන් අඩු කරාම තමයි Resident Tax ගණනය කිරීම සඳහා යොදාගන්නා අගය එන්නේ.

Resident Tax සඳහා යොදාගන්නා අගය = 3,360,000 - 2,648,000円

ඒ කියන්නේ 712,000円.

ඉතින් මෙන්න මේ අගයෙන් 10%ක් තමයි Resident Tax එක වෙන්නේ.

712,000 x 10% = 71,200円

ඉතින් ඔයාලට පේනවා ඇති Resident Tax එකේ අගය විවිධ අඩු කිරීම් නිසා විශාල වශයෙන් අඩු වෙලා තියන හැටි.

විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ගණනය කිරීම් ජිවත් වෙන ප්‍රදේශය අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.

එහෙනම් ඉතින් මේ ලිපියේ කියල තියන දේවල් පිළිබඳව ප්‍රශ්න තියනවා නම් යටින් reply එකක් දාන්න.

1 Like