මම කලින් ලියපු “ජපානයේ රැකියා” කියන ලිපිය බලලා ගොඩ දෙනෙක් මට මැසේජ් එවල තිබුනා. හැමෝටම දිගින් දිගටම උත්තර දෙන්න අමාරු නිසා ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු අද ලිපියෙන් සාරාංශගත කරන්නම්.
1. ජපානයේ රැකියාවකට කොපමණ පඩියක් ලැබෙනවාද?
මේකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. කරන රැකියාව සහ වැඩ කරන ආයතනය මත පඩිය වෙනස් වෙනවා.
ජපානයේ රැකියා කරන අයගේ පඩිය වාර්ෂිකව ගණන් හදලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් white collar job එකක් කරන කෙනකුට වාර්ෂික පඩිය යෙන් මිලියන 3 වගේ සිට ඉහළට ලැබෙනවා. IT, Engineering, Medical වගේ ක්ෂේත්‍ර වල අයට සාමාන්‍යයෙන් වාර්ෂිකව යෙන් මිලියන 5 සිට ඉහළට පඩි ලැබෙනවා. මේ වාර්ෂික පඩිය 12න් බෙදලා එන අගය තමයි මාසිකව ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි, මේ පඩියෙන් මාසිකව ආදායම් බදු සහ වෙනත් අඩු කිරීම් කරලා තමයි ඉතුරු මුදල අතට ලැබෙන්නේ.
2. ජපානේ රැකියාවක් කරද්දී පඩියෙන් මොන වගේ දේවල් සඳහා කැපෙනවද?
ජපානයේ ආයතනයක රැකියාව කරන බහුතරයකගෙන් Social Insurance / 社会保険 (Shakai Hoken) වලට අදාළ විශ්‍රාම වැටුප, සෞඛ්‍ය රක්ෂණය සහ සේවා නියුක්ති රක්ෂණය කියන දේවල් සඳහා මාසිකව වැටුපෙන් යම් මුදලක් අඩු කරනවා. මේ ගැන විස්තරාත්මක ලිපයක් මම වෙනම ලියල තියනවා, එකත් බලන්න.
මීට අමතරව ආදායම් බදු සහ Resident Tax (ආයතනය මාර්ගයෙන් ගෙවීම සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවල) වැටුපෙන් අඩු කරගන්නවා. මේ ගැනත් මම වෙනම ලිපි ලියල තියනවා.
Resident Tax
ජපානයේ Resident Tax එක - General - OhayoTalks
ආදායම් බදු
ජපානයේ අදායම් බදු ගණනය කරන්නේ මෙහෙමයි - General - OhayoTalks
විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය රක්ෂණය ජපානයේ ජිවත් වන අවුරුදු 20ට සියලුම දෙන ගෙවිය යුතුයි. ආයතනයක වැඩ කරනවා නම් ඒ හරහා හෝ පෞද්ගලිකව (ස්වයං රැකියා, ව්‍යාපාරිකයන් / සිසුන් වැනි අය) මේක ගෙවන්න පුළුවන්. සිසුන් සඳහා විශේෂ සහන ක්‍රම තියනවා කියලත් මතක් කරන්න ඕන.
3. ජපානයට ෆැමිලි වීසා දෙනවද?
ජපානයේ ෆැමිලි වීසා/කපල් වීසා කියලා දෙයක් නෑ. හැබැයි ජපානේ රැකියාවක් කරන කෙනෙකුට පුළුවන් තමන්ගේ බිරිඳ/සැමියා සහ දරුවන් තමන්ගේ යැපෙන්නන් (Dependents) විදියට ජපානෙට ගෙන්න ගන්න. සරලව කිව්වොත් ජපානයේ දෙන්නේ Dependent Visa විතරයි.
මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි, Dependent වීසා එකක් යටතේ දෙමවුපියන් හෝ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. හැබැයි ඔයාට work වීසා එක HSP ( Highly Skilled Professional) එකට upgrade කරගන්න පුළුවන් නම් ඔයාගේ දෙමව්පියන්ව ඔයාගේ බබාට අවුරුදු 7 පිරෙනකම් ගෙන්නගෙන තියාගන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයාට අලුත ඉපදුන බබෙක් ඉන්නවා නම් ඒ බබාට අවුරුදු 7ක් වෙනකම් ඉන්න පුළුවන්. ඒ කාලය අතරතුර තව බබෙක් ලැබුනොත් අන්න ඒ බබාට අවුරදු 7ක් වෙනකම් ඉන්න පුළුවන්
(මේකට points table එකක් තියනවා, එකෙන් points 70ට වඩා ගන්න ඕන). මේකටත් විවිධ කොන්දේසි තියනවා.
මීට අමතරව ඉතාමත් විරල අවස්තාවක් තියනවා, ඒ තමයි ඔයාගේ අම්මා තාත්තා ලංකාවේ ජිවත් වෙන්නේ තනියම, අවුරුදු 70ට වඩා වයසයි සහ එයාලට තනියම ජිවත් වීමේ හැකියාවක් නැහැ කියල ඔප්පු කරලා Specific Activities වීසා කාණ්ඩය යටතේ අයදුම් කරන්න ඕන. ලංකාවේ තවත් දරුවන් ඉන්නවා නම් සහ අම්මගේ තාත්තගේ පවුලේ නෑදෑයෝ ඉන්නවා නම් මේ වීසා එක ගන්න අමාරුයි.
4. ජපානයේ PR ගන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් ජපානයේ අවුරුදු 10ක් ජීවත් වුණ සහ අදාල සුදුසුකම් සපුරන ඕනැම කෙනෙකුට PR එක සඳහා අයදුම් කරන්න පුළුවන්. අවුරුදු 10ට කලින් PR එකට අයදුම් කරන්න පුළුවන් අවස්ථා තියනවා. PR එක ගැන වැඩිදුර විස්තර මම වෙනම ලිපියක ලියලා තියනවා. ඒක බලලා අදහසක් ගන්න.
Japan PR - ජපානයේ ස්ථිර පදිංචිය - Japan Visa - OhayoTalks
5. ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන කාණ්ඩයේ වීසා එකකින් ජපන් යන්න වයස් සීමාවක් තියනවද?
මේ වීසා කාණ්ඩය සඳහා ජපන් රජයෙන් වයස් සීමාවක් නියම කරලා නෑ. නමුත් ආයතන වලින් බොහෝ විට රැකියාවට ගන්න බලන්නේ අවුරුදු 25ත් 35ත් අතර අය. ජපානයේ ආයතනයක වැඩ කරන කෙනක් ඉන්නවා නම් ඒ මාර්ගයෙන් ඉතින් වයස ටිකක් වැඩි කෙනෙකුට උනත් රැකියාවක් ලබාගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම අවස්ථා නම් අඩුයි.
6. ජපානයේ රැකියාවකට ගියොත් ආයතනය විසින් Accommodation ලබාදෙනවාද?
මේකත් රැකියාව කරන ආයතනය අනුව වෙනස් වෙනවා. SSW හෝ Trainee වගේ වීසා මගින් Labor jobs වලට එන අය සඳහා නම් බොහෝ දුරට Accommodation ලැබෙනවා.
සමහර ආයතන වලට එයාලගෙම Apartments/Dormitory තියනවා. ඔයා කරන රැකියාව අනුව මේවා කිසිම මුදලක් කරන්නේ නැතුව හෝ සුළු මුදලක් විතරක් අය කරගෙන දෙන අවස්ථා තියනවා. (උදාහරණයකට ගත්තොත් මාසෙකට යෙන් 50,000ක් පමණ වටිනා apartment එකක් යෙන් 15,000ක් වැනි මුදලකට ලබා දෙන්න පුළුවන්.)
තවත් සමහර ආයතන Apartment සඳහා දීමනාවක් දෙනවා. මේ වගේ අවස්ථාවල ඔයාට කැමති apartment එකක් හෝ නිවසක් කුලියට අරගෙන ජිවත් වෙන්න පුළුවන්.
7. ජපානයේ Overtime සඳහා මුදල් ගෙවනවද?
ජපානයේ රැකියාවක් සඳහා වැඩ කලයුතු පැය ගණන දවසකට පැය 8 ගානේ සතියකට පැය 40ක් විදියට තමයි Labor Laws වල සඳහන් වෙන්නේ. සමහර ආයතන තියනවා Shift Work තියන, ඒ වගේ ආයතන වල දවසට පැය 10 ගානේ දවස් 4ක් වැඩ කරන්න වගේ තියන අවස්ථා තියනවා.
ඉතින් Overtime ගැන කිව්වොත්, මේ උඩින් කියල තියන පැය 40ට වඩා වැඩ කරොත් Overtime විදියට තමයි සැලකෙන්නේ. හැබැයි නිත්‍යානුකුලව Overtime සඳහා වැඩ කරන්න පුළුවන් වෙන්නේ මාසෙකට ඔයා “වැඩ කරපු පැය ගණන x 1.25” ක උපරිමයක් දක්වා පමණයි. සරලව කිව්වොත් මාසෙට පැය 40ක් වැඩ කරලා තියනවා නම් Overtime විදියට තවත් පැය 10ක් එකතු කරන්න පුළුවන්.