ජපානයේදී Apartment එකක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක්

ඔයාල හැමෝම ජපානේ තියන apartment ගැන සහ ඒවගේ sizes ගැන දැනටමත් දැනුවත් ඇති. ගොඩක් YouTube වීඩියෝ කරන අය එයාලගේ apartments ගැන වීඩියෝ කරලා තියනවා. ඒවා බලල පොඩි අදහසක් ගන්න.

අද මම කියන්න යන්නේ apartment එකක් කුලියට ගන්න ගන්න යනකොට දැනුවත් වෙන්න ඕන කරුණු කිහිපයක් ගැන.

不動産会社- Fudosangaisha / Real Estate Agent.

ජපානයේ කුලියට දෙන්න තියන apartment වලින් 91% කට ආසන්න ප්‍රතිශතයක් REINS (Real Estate Information Network System) කියන නෙට්වර්ක් එකේ සියලුම විස්තර සහිතව ඇතුලත් වෙලා තියනවා. ජපානේ ලියාපදිංචි සෑම 不動産 ආයතනයකටම මේ නෙට්වර්ක් එකට ප්‍රවේශ වීමේ හැකියාව තියනවා. මේකට Suumo/Chintai වගේ Real Estate සඳහා ප්‍රසිද්ධ වෙබ්පිටුවල සඳහන් apartment සියල්ලමත් ඇතුලත්. ඒ කියන්නේ අපිට ඕනෑම තැනක තියන 不動産 ආයතනයක් හරහා අපිට අවශ්‍ය apartments වල තොරතුරු ලබාගන්න පුළුවන් වගේම Apartment එකකට ගිවිසුම් ගත වෙන්න පුළුවන්. මේ නිසා ඔයාල apartment හොයද්දි 不動産 ආයතන දෙක තුනකට ගිහිල්ල quotation එහෙම අරගෙන ඔයාලට සුදුසු 不動産会社 එකක් තෝරගන්න. මෙහෙම කරාම ඔයාට බොහෝ දුරට ඔයා බලපු හෝ කැමති apartment එකට එකිනෙකට වෙනස් quotations මේ 不動産会社 වලින් හම්බුවෙයි (සෑම අවස්ථාවකම නෙවෙයි), මේකට හේතුව මේ 不動産ල එයාලගේ ලාභය වැඩි කරගන්න Pest Control / Cleaning / Disinfection වගේ දේවල් එකතු කරල තමයි quotation හදන්නේ. මේ මුදල් එයාලට අඩු වැඩි කරන්න පුළුවන්. මේ නිසා අඩුම ආයතන 3කින් වත් quotation අරගෙන බලන්න.

මෙතැනදී කියන්න තියන තව දෙයක් තමයි, ඔයාලට apartment එකක් හිතට ඇල්ලුවොත් එහෙම 不動産会社 එක ඔයාට කියයි ඒ apartment එක තාවකාලිකව වෙන් කරලා තියාගන්න (仮申し込み - Karimoshikomi) අයදුම් කරන්න කියල . මෙන්න මේ වැඩේ කරන්න එපා, මොකද මෙහෙම අයදුම් කරොත් ඔයාලට වෙනත් 不動産会社 හරහා ඒ බලපු apartment එකට අයදුම් කරන්න බැරි වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයා විවිධ 不動産会社 වලට ගිහින් apartment බලද්දී, ඒක කලින් වෙනත් 不動産会社 එකක් හරහා බලල තියනවා කියල කියන්න එපා. මොකද එතකොට එයාලට ඔයා ගැන තියන විශ්වාසය අඩු වෙනවා. එතකොට අර මම කලින් කිව්ව විදියට Quotation හදද්දී ඔයාට මිල අඩු කිරීමක් දෙන්න මැලිකමක් දක්වන්න පුළුවන්.

専任物件 (Sennin Bukken) - විශේෂිත/වෙන් කරන ලද apartments.

මම ඉහලින් කිව්වනේ ජපානේ තියන apartment වලින් 91% කට ආසන්න ප්‍රමාණයක් REINS (Real Estate Information Network System) කියන නෙට්වර්ක් එකේ තියනවා කියල. එහෙම නැති ටික තමයි මේ 専任物件 කියන්නේ. සමහර 不動産会社 වලට එයාලගෙම apartments තියනවා, එයාල ඒවා විශේෂ කරලා එයාල හරහා පමණක් ගිවිසුම් ගත වෙන්න පුළුවන් විදියට තියාගෙන ඉන්නවා. මේ apartments බොහෝ වෙලාවට නගර මධ්‍යයේ හෝ වෙනත් විශේෂ ස්ථානයකට කිට්ටුව, එහෙමත් නැත්තන් හොඳ වටපිටාවක (ධනවත් මිනිසුන් වෙසෙන පෙදෙස්) වගේ තමයි තියෙන්නේ. මේ apartments වල බොහෝ විට මූලික වියදම හෝ මාසික කුලිය ඒ ප්‍රදේශයේ වෙනත් apartments වලට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ වගේම මේ මුදල් අඩු කරගන්න කතා කරන එක ඉතාමත් අපහසුයි, මොකද වෙනත් apartments වලට වගේ මේවට වෙනත් 不動産会社 වලින් තරඟයක් නැති නිසා. ඒ වගේම මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්, ඒ කියන්නේ හිතාගන්නවත් බැරි ඉතා අඩු මුදලට හොඳ apartments තියෙන්නත් පුළුවන්, හැබැයි මේ ගැන නම් ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. හේතුව මම වෙනම කියන්නම්. ඒක නිසා ඔයාලට අවශ්‍යම නැත්තන් මේ වගේ apartments වලට ගිවිසුම් ගත වෙන්න එපා කියන එක තමයි මගේ මතය.

ගිවිසුම් ගත වීම සහ අනවශ්‍ය සේවා ප්‍රතික්ෂේප කිරීම.

ඔයාල හැමෝම දන්නවා ජපානේ හැමදේටම පැහැදිලි මිලක් නියම කරලා තියනවා. ඒ නිසා යමක් මිලදී ගන්නකොට ලංකාවේ වගේ මිල අඩු කරන්න කියල කේවල් කරන්න යන්නේ නෑ. හැබැයි apartment එකක් හෝ මෝටර් රථයක් මිලදී ගන්න යනවා නම් කේවල් කරන්න පසුබට වෙන්න එපා. ඒ කියන්නේ ලක්ෂයට තියන එක විසි පන්දාහට ඉල්ලන්න කියන එක නෙවෙයි. දෙගොල්ලන්ටම සාධාරණ වෙන විදියට මේ දේ කරගන්න පුළුවන්.

Apartment එකකට ලැබෙන quotation එකක මෙන්න මේ පහලින් තියන ඒවා ඇතුලත් වෙනවා.

—仲介手数料 (Chukai Tesuryo) - තැරැව් ගාස්තුව—

ජපානේ නීතියට අනුව 不動産会社 එකකට ඔයාගෙන් තැරැව් ගාස්තුව විදියට අය කරන්න පුළුවන් වෙන්නේ apartment එකේ මාසික කුලියෙන් භාගයක් පමණයි. හැබැයි ඔයාලගේ අනුදැනීම ඇතුව එයාලට ඒක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගිවිසුමේ සඳහන් කරලා ඔයාගෙන් මාසයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක මුදලක් එයාලට ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන දැනුවත් වෙලා ඉන්න. 仲介手数料 එක වැඩි නම් ඒක අඩුකරගන්න කතා කරන්න.

තව මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මම මාසික කුලියෙන් භාගයක් කියන එකට 共益費 (පොදු සේවා ගාස්තු) ඇතුලත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයා ගන්න යන apartment එකට මාසිකව ඔයා 50,000 + 5000(共益費) = 55,000ක් ඔක්කොම ගෙවන්න ඕන කියල හිතන්න. මේ වගේ අවස්ථාවක තැරව් ගාස්තුව විදියට ගණන් ගන්නේ 50,000න් භාගයක් විතරයි.

—敷金 (Shikikin) - ආරක්ශක තැන්පතුව—

මේ මුදල ගන්නේ ඔයා කුලිය ගෙව්වේ නැත්තම් හෝ apartment එකට යම් හානියක් කරලා තියනවා නම් ඒක පියවගන්න. මේ මුදල සාමාන්‍යයෙන් ඔයාගේ මාසික කුලිය වගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් වෙන්න පුළුවන්. මේ මුදල ඔයා apartment එකෙන් ඉවත් වෙද්දී නැවත ගන්න පුළුවන්.

—礼金 (Reikin) - තෑගි මුදල—

මෙන්න මේක තමයි නිරපරාදේ සල්ලි වියදම් වෙන තැන. 礼金 කියන්නේ ඔයාට apartment එක දෙනවට ස්තූතියක් විදියට apartment එක අයිති පුද්ගලයට දෙන මුදලට. මේ මුදල ඔයාට නැවත ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ ඉතින් පිනට සල්ලි දුන්නා වගේ වැඩක් තමයි. හැබැයි මේ ක්‍රමය දැන් ටිකෙන් ටික අඩු වේගෙන යනවා, ඒ කියන්නේ බොහෝ තැන වල දැන් 礼金 එකක් ඉල්ලන්නේ නෑ. ඒත් මෙහෙම ඉල්ලන තැන් වලින් නම් සාමාන්‍යයෙන් මාසික කුලිය වගේ දෙගුණයක, තුන් ගුණයක වගේ උපරිමයක් වෙනකම් ඉල්ලන්න පුළුවන්. මෙහෙම අවස්තාවක, ඔයාට මේ apartment එක හිතට අල්ලලා තියන බවත් 礼金 එක අඩු කරගන්න පුළුවන් නම් ගිවිසුම් ගතවෙන්න පුළුවන් බවත් 不動産会社 එකට දැනෙන්න අරින්න. එතකොට එයාල apartment එක අයිති පුද්ගලයත් එක්ක කතා කරලා මේ මුදල අඩු කරලා දෙන්න බලනවා.

—事務手数料 (Jimu tesuryo) / 書類作成費 (Shoruisakuseihi) - පරිපාලන හා ලියකියවිලි සකස් කිරීමේ ගාස්තු—

මම කලින් කියපු විදියට 不動産会社 එකකට තැරැව් ගාස්තු විදියට අය කරගන්න පුළුවන් apartment එකේ මාසික කුලියෙන් 50%ක් විතරයි. මේ පරිපාලන හා ලියකියවිලි සකස් කිරීමේ ගාස්තු සියල්ලම ඒකට ඇතුලත්. ඒක නිසා මේවට වෙනම ඔයාගෙන් අය කරගන්න හදනවා නම් ඒවා ඉවත් කරන්න කියල කියන්න.

—火災保険 (Kasai hoken) - ගිනි ගැනීම් සඳහා වන රක්ෂණය—

Apartment එකකට ගිවිසුම් ගත වෙනකොට ඔයා අනිවාර්යෙන්ම මේ 火災保険 එකකට ලියාපදිංචි වෙන්න ඕන. 不動産会社 වලින් ඔයාට හඳුන්වල දෙන 火災保険 වල මිල සමහර වෙලාවට ටිකක් වැඩියි. ඒ වගේම ඔයා apartment එක ගන්න අවස්ථාවේදී වෙනත් 火災保険 එකකට යන්න හෝ ඔයාට පුද්ගලිකව වෙනම 火災保険 එකකට අයදුම් කරන්න තියන ඉඩකඩ ඉතාමත් අඩුයි. මොකද 不動産会社 එකට referral fee එකක් ලැබෙන නිසා එයාලට කැමති නැහැ ඒ අවස්ථාව මග හැර ගන්න. ඒක නිසා apartment එක ගන්න අවස්ථාවේදී අයදුම් කරන 火災保険 එක නැවත අලුත් කරන්න වෙන අවස්ථාවේදී ඒක අවලංගු කරලා ඔයාට කැමති වෙනත් 火災保険 එකකට යොමු වෙන්න පුළුවන්. 価格 (kakaku) වගේ වෙබ්සයිට් එකක් හරහා ඔයාලට මේ 火災保険 සංසන්දනය කරලා අඩු මුදලකට හොඳ එකක් තෝරාගන්න පුළුවන්.

—鍵交換 費用 (Kagi kokan hiyo) - යතුරු වෙනස් කිරීම—

ඔයාල apartment එකක් ගන්නකොට එකේ යතුර වෙනස් කරන්න කියල 15,000, 20,000 හෝ විශේෂිත යතුරු සඳහා මීට වඩා මුදලක් ඔයාගෙන් අය කරනවා. මේකත් ඔයාට අවශ්‍ය නෑ කියල හිතෙනවා නම් කතා කරලා ඉවත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔයා ගන්න යන apartment එක තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක තියන එකක් නම් සාමාන්‍යයෙන් ඒ ගොඩනැගිලි වලට ඇතුලුවෙන තැන වෙනම ලොක් වෙන ගේට්ටුවක් හෝ දොරක් තියනවා. ඒක නිසා පිටස්තර පුද්ගලයින්ට ගොඩනැගිල්ලට ඇතුළුවෙන්න අවස්ථාවක් නෑ.

—害虫駆除 (Gaichu kujo)- කෘමි උවදුරු පාලනය කිරීම සඳහා කෘමිනාශක යෙදීම—

室内消毒 (Shitsunai shodoku) / 抗菌 (Kokin)- විෂබීජ/බැක්ටීරියා නාශක යෙදීම

Apartment එක ගන්න ඉස්සෙල්ලා ඒක බලන්න ගියාම හැම අහුමුල්ලක්ම හොඳට බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අමතර දේවල් quotation එකට එකතු කරලා තියනවා නම් සහ ඔයාට ඒවා අනවශ්‍යයි කියල හිතෙනවා නම් ඒවා ඉවත් කරගන්න. මේ උඩින් කියල තියන 害虫駆除/室内消毒/抗菌 වගේ ඒවාට අවශ්‍ය වෙන නිෂ්පාදන ඕන තරම් ඉතාමත් අඩු මුදලට වෙළඳපොලේ ගන්න තියනවා. උවමනා වෙලාවකට ඔයාටම ඉතාමත් පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්.

—保証会社 (Hoshogaisha) - ඇපකරු (සමාගම)—

මේක නම් අපි ලංකාවෙත් දකිනවා, විශේෂයෙන් බැංකු ලෝන් / ලීසිං එහෙම ගන්න ගියාම. ජපානයේ apartment එකක් ගන්නකොටත් ඇපකාරයෙක් නම් කරන්න ඕන. හදිසියෙවත් ඔයාට මාසික කුලිය ගෙවන්න බැරි උනොත් හරි ඔයා නොකියම apartment එකෙන් ඉවත් වෙලා ගියොත් හරි හිඟ මුදල් අය කරගන්න තමයි මෙහෙම කරන්නේ. ඔයාට ඇපකාරයෙක් විදියට ජපන් ජාතිකයෙක් හෝ PR එක තියන පුද්ගලයෙක් නම් කරන්න පුළුවන් සහ එම පුද්ගලයා ඇපකාරයෙක් විදියට ගිවිසුමක් අත්සන් කරන්න කැමති නම් මේ 保証会社 එකක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මෙහෙම අපැකාරයෙක් වෙන්න කැමති කෙනෙක් හොයාගන්න එක නම් ඉතාමත් අපහසුයි. මේ නිසා ඔයාට පුළුවන් 保証会社 එකකට මුදල් ගෙවල ඒ ආයතනය ඇපකරුවෙක් විදියට හදන්න. මේ මුදල ඔයා ගන්න යන apartment එකේ මාසික කුලිය අනුව වෙනස් වෙනවා. හැබැයි ගිවිසුමකට යන අවස්තාව්දී ඔයාට පුළුවන් ඔයාට කැමති 保証会社 එකක් තෝරාගන්න, 不動産会社 එකෙන් යෝජනා කරන තැනම තෝරාගන්න අවශ්‍ය නෑ.

—家賃 (Yachin) - මාසික කුලිය—

මේක තමයි ඔයාගේ මාසික කුලිය. ඔයා අලුත් apartment එකකට යනකොට ඉදිරියට එන මාසේ කුලිය කලින් ගෙවන්න ඕන. ඒ කියන්නේ ගිවිසුමට අත්සන් කරනකොට මාසික කුලියක් ඔයාගේ මුලික වියදම් කොටසට එකතු වෙනවා.

සාමාන්‍යයෙන් 不動産会社 එකකට යෙන් 3000ක් උපරිමයකට හෝ පළමු මාසයේ කුලිය අය කරන්නේ නැති වෙන විදියට හදල දෙන්න හැකියාවක් තියනවා (සෑම අවස්ථාවකම නෙවෙයි.) නගරාසන්න තැන් වල නම් මේක ටිකක් අමාරුයි. ඒ උනත් කතා කරලා බලන්න. සමහර වෙලාවට ඔයාලටත් වාසියක් වෙන්න ඉඩ තියනවා.

-–駐車場 (Chuushajo) - වාහන නැවැත්වීමේ ඉඩ—

ඔයාට වාහනයක් තියනවා නම් apartment එකක් බලනකොට එතන ඔයාට වාහනේ නවත්වන්න ඉඩ පහසුකම් තියනවද කියල බලන්න. සමහර apartments වල කිසිදු අයකිරීමක් නැතුව වාහනයක් නැවැත්වීමේ ඉඩ පහසුකම් ලබාදෙනවා. සමහර ප්‍රධාන නගර ආසන්න apartments වල නම් මේ සඳහා වෙනම මුදලක් අය කරනවා.

—අවම මුලික වියදමකින් ගන්න පුළුවන් apartments—

මුලින් ලොකු මුදලක් වියදම් කරන්න හැකියාවක් නැති හෝ වෙනත් අපහසුතා නිසා අඩු මුදලකට apartments හොයන අයට 礼金 (Reikin)/仲介手数料 (Chukai Tesuryo)/保証会社 (Hoshogaisha) නැතුව සහ තව වෙනත් වට්ටම් සහිතව ගන්න පුළුවන් apartments ජපානේ තියනවා. මේ ගැන මම තවත් ලිපියකින් කියන්නම්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ apartment ගන්න කලින් හදිසි නොවී හොඳට හොයල බලන්න, ඒ වගේම මිල ගණන්/ මුලික වියදම් අඩු කරගන්න කතා කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනෑවට වඩා කේවල් කරන්න වගේම 不動産会社 ගේ සේවාව අවතක්සේරු කරන්න යන්න එපා. මුදල් සම්බන්ධ දේවල් කතා කරද්දී ඔයාට ඒ අදාල apartment එක ගැනීමේ උවමනාව හොඳට පෙන්නන්න. මොකද මේ ගොඩක් දේවල් ඔයාගේ පෞරුෂය, කතා කිරීමේ විලාසය වගේ දේවල් මත තමයි රඳා පවතින්නේ. තවත් වැදගත් දෙයක් තමයි අලුත් apartment එකක් හොයනවා නම් පුළුවන් තරම් පෙබරවාරි සිට අප්‍රේල් කාලය මග අරින්න. මොකද මේ කාලයට තමයි ජපානේ ගොඩක් apartments වලට මිනිස්සු මාරු වෙන්නේ. ඉතින් මේ කාලෙදි ගණන් අඩු කරගන්න එහෙම ගොඩක් අපහසුයි.

ගොඩක් දිග ලිපියක් නිසා අනිත් කරුණු ටික මම වෙනම ලිපියකින් කතා කරන්නම්. මේ ඉහලින් කියපු දේවල් වල නිවැරදි වෙන්න දෙයක් හෝ අපැහැදිලි තැනක් තියනවා නම් පහලින් reply එකක් දාන්න.

සැ.යු:
ඔබ මෙම ලිපිය වෙනත් social media platform එකක හෝ වෙනත් වෙබ් පිටුවක පල කරන්නේ නම්, මෙම පිටුවට link (share option) එකක් වශයෙන් හෝ උපුටා ගන්නා ලද්දේ මෙම පිටුවෙන් බව සඳහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

1 Like