ජපානයේ ස්ථිර පදිංචිකරුවෙකුට (PR) තම දෙමාපියන්ව ජපානයේ පදිංචිය සඳහා ගෙන්වා ගත හැකිද?

අද ලිපියෙන් අපි කතා කරමු ජපානයේ ස්ථිර පදිංචිකරුවෙකුට (永久在留者 / Eijūsha) තම දෙමාපියන්ව වෙනත් රටක ඉඳල ජපානයට දිගුකාලීන පදිංචිය සඳහා ගෙන්නගන්න පුලුවන්ද කියල.

ඉතින් මේ විදියට කෙනෙකුට ජපානේ PR එක තිබුනත් තමන්ගේ දෙමව්පියන්ව පදිංචිය සඳහා ජපානයට ගෙන්නගන්න එක ඉතා අපහසුයි සහ සාමාන්‍යයෙන් අනුමත වෙන දෙයක් නෙවෙයි. මේකට හේතු කිහිපයක් තියනවා,

1. ජපානයේ පවුල් සඳහා වන වීසා ප්‍රතිපත්තිය (家族滞在 වීසා)

  • ජපානයේ “පවුලක් ලෙස ජීවත්වීමේ” (家族滞在 / Kazoku Taizai) වීසා ලබාදෙන්නේ කලත්‍රයා සහ බාලවයස්කාර අවිවාහක දරුවන් (සාමාන්‍යයෙන් වයස 18ට අඩු හෝ තවමත් අධ්‍යාපනය ලබමින් සිටින අය) සඳහා පමණයි. මේ අයට 永住者の配偶者等 (Spouse of a permanent resident) / 永住者の子 (Child of a permanent resident) සහ 定住者 (Long Term Resident) කියන කාණ්ඩ වලින් විසා ලබාගන්න පුළුවන්.
  • හැබැයි PR තියන කෙනෙකුගේ දෙමාපියන් මේ වීසා කාණ්ඩයට අයත් වෙන්නේ නැහැ.

2. දෙමාපියන් සඳහා විශේෂිත වූ වීසා නොමැත

  • ජපානයේ වර්තමාන ආගමන නීතිය යටතේ දෙමාපියන් සඳහා “පවුලක් වශයෙන් ජීවත්වීමට” වීසා කාණ්ඩයක් නැහැ.
  • ස්ථිර පදිංචිකරුවෙකුට වගේම ජපානයේ පුරවැසිභාවය ලබාගත් කෙනෙකුට පවා තම දෙමාපියන්ට ස්ථිර පදිංචිය (永久在留) ලබාගැනීමට සෘජු මාර්ගයක් නැහැ.

3. විකල්පය – “නියමිත ක්‍රියාකාරකම්” වීසා (指定活動ビザ)

*ඉතාමත්ම කලාතුරකින් සහ විශේෂ තත්වයන් යටතේ මේ 指定活動ビザ - Designated Activities Visa කියන කාණ්ඩය යටතේ වීසා ලබාගන්න පුළුවන්.
(උදා: දෙමාපියන් ඉතා මහලු වියේ පසුවීම, ඔවුන් ජිවත් වන රටේ වෙනත් ඥාතියෙකු නැති වීම, සහ ස්ථිර පදිංචිකරුවා ඔවුන්ගේ එකම රැකවරණකරු වීම)

  • හැබැයි මේක ස්ථිර පදිංචියක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ visa එක ලැබෙන්නේ අවුරුද්දක් වගේ කාලෙකට, නැවත නැවත අලුත් කරන්න ඕන.
  • අනුමැතිය ඉතා අඩුයි (2023–2025 දත්ත අනුව 10%ටත් අඩුයි).
  • මුල්‍ය ස්ථාවරත්වය (財政保証), සෞඛ්‍ය රක්ෂණය, නිවසේ ඉඩප්‍රමාණය වගේ දේවල් ඉතා දැඩි ලෙස පරීක්ෂා කරනවා.

ඉතින් මේ වගේ visa එකක් ගන්න නම් මේ පහල තියන conditions ඔක්කොම සපුරන්න ඕන.

  • දෙමාපියන්ගේ වයස සහ සෞඛ්‍ය තත්වය:

    • සාමාන්‍යයෙන් වයස 65ට වැඩි වීම (70ට වැඩි නම් වඩාත් හොඳයි).
    • බරපතල සෞඛ්‍ය ගැටලු තිබිය යුතුයි (උදා: දිගුකාලීන රෝග, චලන ආබාධ, දෛනික කටයුතු කිරීමේ අපහසුතා). බරපතල රෝගයක් නැත්නම්, රැකවරණයක් අවශ්‍ය නැති විදියට තමයි සැලකෙන්නේ.
    • රටේ තනිව ජීවත් වීමට (自活能力) හැකියාවක් නොමැති වීම.
  • රැකවරණකරුගේ (දරුවාගේ) තත්වය:

    • ජපාන පුරවැසියෙකු (日本人) හෝ ස්ථිර පදිංචිකරුවෙකු (永住者) විය යුතුයි. රැකියා වීසා (උදා: 技術・人文知識・国際業務) වීසා වලින් ඉන්න අයට අපහසුයි.
    • අයදුම්කරු එකම රැකවරණකරු විය යුතුයි: දෙමාපියන් සිටින රටේ (හෝ වෙනත් රටක) ඥාතීන් නොමැති වීම.
  • ජපානයේ ජීවත් වීමේ අවශ්‍යතාව:

    • දෙමාපියන් ජපානයේ ජීවත් වීම මානුෂීය හේතූන් මත අනිවාර්ය (人道的理由) බවට ඒත්තු ගැන්වීමට පුළුවන් වෙන්න ඕන: දැනට ජීවත්වෙන රටේ සෞඛ්‍ය සේවාවන් අඩුවීම, රැකවරණයක් නොමැතිකම, හෝ දරුවාගේ රැකවරණය ලබාගැනීමේ එකම ක්‍රමය ජපානයට පැමිණීම පමණක් වීම.
    • එක දෙමව්පියෙකු පමණි: දෙදෙනා සඳහාම වීසා ලබාගැනීම දුෂ්කරයි.

මූල්‍ය හා ජීවනෝපාය අවශ්‍යතා (Financial and Living Requirements)

  • රැකවරණකරුගේ ආදායම:
    • අවම වශයෙන් වසරකට අවම ¥6,000,000 පමණ අදායමක් තිබිය යුතුයි (පවුලේ සාමාජිකයන් අනුව මේක වෙනස් වෙනවා).
    • ¥8,000,000කට වැඩි අදායමක් තියනවා නම් වඩා හොඳයි, විශේෂයෙන් “ඉහළ කුසලතා වෘත්තිකයෙකු - Highly Skilled Professional” (高度専門職) නම් ප්‍රමුකතාවය වැඩියි.
    • බැංකු ගිණුම්, දේපළ, ආදායම් වාර්තා (අවම ලෙස පසුගිය වසර 3-5) ඉදිරිපත් කළ යුතුයි. ආදායම් විතරක්ම නෙවෙයි, පවුලේ ජීවන රටාව (උදා: ගෙදර ඉන්න වේලාවන්, රැකවරණය කිරීමේ හැකියාව) වගේ දේවලුත් බලපානවා.
  • නිවාස හා සෞඛ්‍ය රක්ෂණය:
    • පවුල සඳහා ප්‍රමාණවත් නිවාස ඉඩප්‍රමාණය (උදා: අවම කාමර 3-4 නිවසක්).
    • දෙමාපියන්ව ජපාන සෞඛ්‍ය රක්ෂණය (国民健康保険) සඳහා ඇතුලත් කල යුතුයි.

4. ජපානේ Citizenship ගත්තත් බැරිද?

  • ජපාන පුරවැසියෙකුට උනත් තමන්ගේ දෙමාපියන්ට ස්ථිර පදිංචිය ලබාගැනීමට වසර ගණනාවක් (අවම වශයෙන් 10–15) යනවා. එකත් කරන්න වෙන්නේ “指定活動ビザ - Designated Activities” වීසා හරහා ක්‍රමයෙන් දිගුකාලීන වීසාවලට හරවගෙන තමයි.

5. ඉහළ කුසලතා වෘත්තිකයෙකු - Highly Skilled Professional (高度専門職) කෙනෙකුට ලැබෙන විශේෂ අවසරය

  • HSP වීසා තියන කෙනෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් තියනවා, ඒ තමයි ඔවුන්ට අවුරුදු 7ට අඩු ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා බලාගැනීමට උදව්වක් විදියට දෙමව්පියන්ව ගෙන්න ගන්න පුලුවන් (කොන්දේසි සහිතයි). එහෙම බැලුවම ළමයෙක් උපදිනකොටම දෙමව්පියන්ව ජපානෙට ගෙන්න ගත්තොත් අවුරුදු 7ක් ජපානේ ජීවත්වෙන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න.

1 Like