ජපානයේ රැකියා කරන අපිට වැදගත් වන 年末調整 | "නෙන්මට්සු චෝසෙයි" (Nenmatsu Chōsei) - වසර අවසාන බදු ගැලපීම

ජපානයේ සේවය කරන විදේශිකයෙකුට, විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන්ට, ජපානේ රාජකාරි පටිපාටි සහ ලිපිගොනු කටයුතු තරමක් සංකීර්ණ වෙන්න පුළුවන්, මොකද ලංකාවට වඩා මෙහේ සැහෙන්න ලොකු වෙනසක් තියනවා. ඒ අතරින් “නෙන්මට්සු චෝසෙයි” (Nenmatsu Chōsei - 年末調整) කියන්නේ රැකියාවක් කරන හැමෝම දැනුවත් විය යුතු වැදගත් ක්‍රියාවලියක්.


ජපානයේ රැකියාවක් කරන ගොඩක් දෙනෙක්ට නොවැම්බර්, දෙසැම්බර් මාස වෙනකොට තමන්ගේ සමාගමෙන් (Company) එකෙන් පුරවන්න කියලා forms වගයක් දෙනවා. සමහරු මේවා තේරුම් ගන්න අමාරු නිසා නොසලකා හරිනවා, නැත්නම් දන්න කෙනෙක්ට කියලා කොහොමහරි පුරවලා දෙනවා. මෙන්න මේක “නෙන්මත්සු චෝසෙයි” (Nenmatsu Chōsei) කියන ක්‍රියාවලියේ කොටසක්. මේක හරියට නොකළොත් ඔයාට ලැබෙන්න තියෙන මුදලක් නොලැබී යන්නත්, නැත්නම් අමතරව මුදල් ගෙවන්න වෙන්නත් පුළුවන්.

ඉතින්, අපි අද ලිපියෙන් මේ ගැන සරලව කතා කරමු .

1. මොකක්ද මේ නෙන්මට්සු චෝසෙයි (Nenmatsu Chōsei) කියන්නේ?

ජපානයේදී, ඔයා වැඩ කරන සමාගමෙන් මාස් පතා ඔයාගේ පඩියෙන් ආදායම් බදු (Income Tax) සඳහා යම් මුදලක් අඩු කරලා රජයට ගෙවනවා. හැබැයි මේ මාසිකව අඩු කරන මුදල නිශ්චිත ගානක් නෙවෙයි, එය අනුමාන කළ (estimated) මුදලක්.

“නෙන්මත්සු චෝසෙයි” ක්‍රියාවලියේදී වෙන්නේ, වසර අවසානයේදී, ඔයා ඇත්තටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය සහ වසර පුරාම ඔයාගේ පඩියෙන් අඩු කරගත් මුළු බදු ප්‍රමාණය සමඟ සසඳලා බලන එක.

  • ඔයාගේ පඩියෙන් අඩු කරගත්ත මුදල, ඔයා ගෙවන්න අවශ්‍ය බදු මුදල වඩා වැඩිනම්: ඔයාට ඒ වැඩියෙන් ගෙවපු ගැන ආපසු ලැබෙනවා (Tax Refund). සාමාන්‍යයෙන් මේ මුදල දෙසැම්බර් හෝ ජනවාරි පඩියට එකතු වෙලා එනවා.

  • ඔයාගේ පඩියෙන් අඩු කරගත්ත මුදල, ඔයා ගෙවන්න අවශ්‍ය වෙන බදු ගානට වඩා අඩුනම්: ඔයාට ඒ හිඟ මුදල ගෙවන්න වෙනවා. ඒකත් ඔයාගේ පඩියෙන් අඩු කරගන්නවා.

2. ඇයි මේ ගැලපීම (Adjustment) අවශ්‍ය වෙන්නේ?

“මාසිකව අඩුකරන බදු මුදල ඇයි අනුමානයක් වෙන්නේ?” කියලා ඔබට හිතෙන්න පුළුවන්. හේතුව තමයි, වසරක් ඇතුළත ඔබේ මූල්‍ය හෝ පෞද්ගලික තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණ විදියට ගත්තොත්:

  • පඩි වැඩිවීමක් (Promotion) ලැබීම: ඔයාගේ ආදායම වෙනස් වෙනවා.

  • විවාහ වීම: ඔයාගේ සහකරු/සහකාරිය යැපෙන්නෙක් (dependent) වෙන්න පුළුවන්.

  • දරුවෙක් ලැබීම: යැපෙන්නන් ගණන වැඩි වෙනවා.

  • සහකරු/සහකාරිය රැකියාවෙන් ඉවත් වීම හෝ රැකියාවක් පටන් ගැනීම: යැපෙන්නන්ගේ තත්වයේ වෙනසක්.

  • ජීවිත රක්ෂණයක් (Life Insurance) හෝ පෞද්ගලික විශ්‍රාම සැලසුමකට (iDeCo වගේ) මුදල් ගෙවීම.

  • භූමිකම්පා රක්ෂණයක් (Earthquake Insurance) සඳහා ගෙවීම.

  • නිවාස ණයක් (Housing Loan) ගැනීම.

  • (අපේ අයට විශේෂයෙන් වැදගත්) ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට යැපෙන්නන් ලෙස ඇතුළත් කර මුදල් යැවීම: මේ සඳහා අවශ්‍ය ලියකියවිලි (මුදල් යැවූ බවට සාක්ෂි, ඥාතීත්වය ඔප්පු කරන ලියකියවිලි) ඉදිරිපත් කිරීමෙන් බදු සහන ලබාගන්න පුළුවන්. — මේ ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා Japantasy Channel එකේ දාලා තියනවා, බැලුවේ නැත්නම් බලන්න.

මේ වගේ දේවල් නිසා ඔයා ගෙවන්න ඕන බදු මුදල වෙනස් වෙනවා. ඒ නිසයි වසර අවසානයේදී මේ සියල්ල සලකා බලා අවසන් ගැලපීම සිදු කරන්නේ.

3. මේක අදාළ වෙන්නේ කාටද? සහ අදාළ නොවන්නේ කාටද?

නෙන්මට්සු චෝසෙයි අදාළ වන්නේ:

ජපානයේ සමාගමක සේවය කරන (正社員 - seishain, 契約社員 - keiyakushain, 派遣社員 - hakenshain,アルバイト - arubaito වැනි) බොහෝ සේවකයන්ට මෙය අදාළයි.

නෙන්මත්සු චෝසෙයි අදාළ නොවන්නේ (ඔයා විසින්ම Kakutei Shinkoku කළ යුතු අවස්ථා):

  • ඔයාගේ වාර්ෂික ආදායම යෙන් මිලියන 20 ඉක්මවනවා නම්.

  • ඔයා සමාගම් දෙකක හෝ වැඩි ගණනක රැකියා කරනවා නම්.

  • ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග (side jobs) වලින් ඔයා යෙන් 200,000ට වඩා උපයනවා නම්.

  • ස්වයං රැකියාවක් (freelancer) කරනවා නම්.

  • වසර මැදදී රැකියාවෙන් ඉවත් වී, වසර අවසන් වන විට වෙනත් රැකියාවක් නොකරන්නේ නම්.

  • ජපානයේ ශාඛාවක් නොමැති විදේශීය සමාගමක සෘජුවම සේවය කරනවා නම්.

මේ අවස්ථාවලදී, ඔයා විසින්ම පෙබරවාරි 16 සිට මාර්තු 15 දක්වා කාලය තුළ “කකුතෙයි ෂින්කොකු” (確定申告 - Kakutei Shinkoku) හෙවත් “අවසාන බදු වාර්තාව” ගොනු කළ යුතුයි.

4. සේවකයෙක් විදියට අපි කරන්න ඕන මොනවද?

නෙන්මත්සු චෝසෙයි ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කරන්නේ ඔයා වැඩකරන සමාගමේ මානව සම්පත් (HR) හෝ ගිණුම් අංශයයි. ඔයාට කරන්න තියෙන්නේ එයාල දෙන forms ටික නිවැරදිව පුරවල, අවශ්‍ය ලියකියවිලි (උදා: රක්ෂණ සමාගමෙන් එවන වාර්ෂික ගෙවීම් සහතිකය) සමඟ නියමිත දිනට පෙර භාර දීම පමණයි.

ප්‍රධාන වශයෙන් ලැබෙන forms වර්ග:

  1. 扶養控除申告書 (Fuyō Kōjo Shinkokusho): යැපෙන්නන් පිළිබඳ විස්තර (සහකරු/සහකාරිය, දරුවන්, දෙමාපියන්) ඇතුළත් කරන form එක.

  2. 保険料控除申告書 (Hokenryō Kōjo Shinkokusho): ඔබ ගෙවූ ජීවිත රක්ෂණ, භූමිකම්පා රක්ෂණ වැනි දේවල විස්තර ඇතුළත් කරන form එක.

  3. 住宅ローン控除 (Jūtaku Rōn Kōjo): නිවාස ණයක් ඇත්නම් ඒ පිළිබඳ විස්තර.

වැදගත්: මේ forms පුරවද්දී යම් දෙයක් තේරෙන්නේ නැත්නම්, අනිවාර්යයෙන්ම ඔයා වැඩකරන සමාගමේ HR අංශයෙන් අහලා දැනගන්න. වැරදි විදියට පිරෙව්වොත් ඔයාට ලැබිය යුතු බදු සහන අහිමි වෙන්න පුළුවන්.

5. “ගෙන්සෙන් චෝශුහ්යෝ” (源泉徴収票 - Gensen Chōshūhyō) කියන්නේ මොකක්ද?

නෙන්මත්සු චෝසෙයි ක්‍රියාවලිය අවසන් වූ පසු, සාමාන්‍යයෙන් දෙසැම්බර් හෝ ජනවාරි මාසයේදී ඔයා වැඩකරන සමාගමෙන් ඔයාට ලියවිල්ලක් දෙනවා. මේක තමයි “ගෙන්සෙන් චෝෂුහ්යෝ” කියන්නේ.

මේක ඔයාගේ වාර්ෂික ආදායම් සහ බදු සාරාංශ කරපු ලියවිල්ලක්. එකේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු සඳහන් වෙනවා:

  1. 支払金額 (Shiharai Kingaku): ඔබේ බෝනස් ඇතුළුව, වසර පුරාම සමාගමෙන් ඔබට ගෙවූ මුළු මුදල (Gross Salary).

  2. 給与所得控除後の金額 (Kyūyo Shotoku Kōjo-go no Kingaku): නීතියෙන් නියමිත අඩුකිරීම් වලින් පසු ඉතිරිවන ආදායම.

  3. 所得控除の額の合計額 (Shotoku Kōjo no Gaku no Gōkei-gaku): යැපෙන්නන්, රක්ෂණ වැනි දේවල් සඳහා ඔබට ලැබුණු මුළු බදු සහන ප්‍රමාණය.

  4. 源泉徴収税額 (Gensen-chōshū Zeigaku): වසර පුරාම ඔබෙන් අය කරගත් සහ අවසානයේ ගැලපූ ආදායම් බදු ප්‍රමාණය.

මේ ලියවිල්ල ඉතාම වැදගත්! ඔයා job එක මාරු කරනකොට, ණයක් ගන්නකොට, ළමයින්ව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට (保育園) දාන කොට වගේ බොහෝ අවස්ථාවලදී මෙය අවශ්‍ය වෙනවා.

6. අවසාන සහ වැදගත්ම දේ: අලුත් Company එකට මගේ කලින් පඩිය දැනගන්න පුලුවන්ද?

ඔව්. මේක ගොඩක් දෙනෙක් නොදන්න දෙයක්.

ඔයා අලුත් රැකියාවකට ඉල්ලුම් කරද්දී, සම්මුඛ පරීක්ෂණයේදී ඔයාගේ කලින් රස්සාවේ පඩිය ගැන අහන්න පුළුවන්. සමහරු ඇත්තට වඩා වැඩි ගානක් කියන්න පෙළඹෙනවා. හැබැයි මේක නොකළයුතු දෙයක්. මොකද, ඔයා අලුත් රැකියාවට තේරුණාට පස්සේ, ඒ company එකෙන් ඔයාගේ “නෙන්මත්සු චෝසෙයි” එක කරන්න කලින්, ඔයාට කලින් සමාගමෙන් ලැබුණු “ගෙන්සෙන් චෝෂුහ්යෝ” (Gensen Chōshūhyō) එක ඉල්ලනවා.

එතකොට 支払金額 (Shiharai Kingaku) යටතේ ඔයාගේ කලින් සමාගමේ මුළු ආදායම පැහැදිලිවම සඳහන් වෙනවා. ඔයා interview එකේදී කියපු ගානත් එක්ක ලොකු පරතරයක් තිබුනොත් company එකට ඔයා ගැන තියන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පුළුවන්.

මෙහෙම කරන්න පුළුවන් හැබැයි: ඔයාට පුළුවන් තනියම Kakutei Shinkoku එක කරනවා කියල Gensen Chōshūhyō එක භාර නොදී ඉන්න. නමුත්, අලුත් company එකට ඔයාගේ පදිංචි බද්ද (住民税 - Jūminzei) හරහා ඔයාගේ කලින් ආදායම ගැන දළ අදහසක් ගන්න පුළුවන්. මොකද, පදිංචි බද්ද ගණනය වෙන්නේ ඔයාගේ පසුගිය වසරේ ආදායම මත නිසා.

ඒ නිසා හොඳම දේ: රැකියාවක් මාරු කරද්දී පඩිය ගැන බොරු නොකියා, ඔයාගේ දක්ෂතාවය, පළපුරුද්ද සහ Market එකේ යන වැටුප් බලල හොඳ වැටුපක් සඳහා සාකච්ඡා කිරීමයි.


ඉතින් මේ Nenmatsu Chōsei කියන්නේ බය වෙන්න දෙයක් නෙවෙයි, හරියට තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්.

1 Like