ජපානය කියන්නේ තාක්ෂණයෙන් සහ නවෝත්පාදනයෙන් ඉදිරියෙන් සිටින රටක්. මේ වන විට ජපානය තම “මයි නම්බර්” (My Number) හැඳුනුම්පතට රියදුරු බලපත්‍රය ඒකාබද්ධ කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබෙනවා. මෙය ජපන් ජාතිකයන්ට මෙන්ම එහි පදිංචි විදේශිකයන්ටත් වැදගත් වෙනසක්. 2025 මාර්තු 24 වැනිදා සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වුණා. අපි අද ලිපියෙන් ඒ ගැන කතා කරමු.
මයි නම්බර් කාඩ් එක කියන්නේ මොකක්ද?
මයි නම්බර් කාඩ් එක කියන්නේ 2016දී ජපානයේ හඳුන්වා දුන් 12-අංක ගණනකින් යුත් හැඳුනුම්පතක්. මෙය එරට පුරවැසියන්ට සහ දිගුකාලීනව පදිංචි විදේශිකයන්ට ලබා දෙනවා. බදු, සමාජ ආරක්ෂණය, සහ වෙනත් පෞද්ගලික තොරතුරු ඒකාබද්ධ කිරීමට මෙය භාවිතා වෙනවා. දැන් මෙයට රියදුරු බලපත්‍රයත් එකතු වෙනවා.
රියදුරු බලපත්‍රය එකතු කිරීමේ පියවර
2025 මාර්තු 24 වැනිදා සිට, ජපාන ජාතික පොලිස් ඒජන්සිය (National Police Agency - NPA) විසින් මයි නම්බර් කාඩ් එකේ IC Chip එකට රියදුරු බලපත්‍ර තොරතුරු (බලපත්‍ර වර්ගය වැනි) සටහන් කිරීම ආරම්භ කළා. මෙය අත්‍යවශ්‍ය නොවන තෝරා ගැනීමක් (optional) - එනම්, ඔබට තවමත් සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රය පමණක් භාවිතා කළ හැකියි, නැතිනම් ඒකාබද්ධ කාඩ්පත භාවිතා කළ හැකියි.
- ප්‍රතිලාභ: මෙම ඒකාබද්ධ කාඩ්පත භාවිතා කරන්නන්ට ලිපිනය හෝ නම වෙනස් කිරීමේදී පොලිසියට වෙනම ගොස් ලියාපදිංචි කිරීම අවශ්‍ය නැහැ. මුලික ලිපින වෙනස් කිරීම මහ නගර සභාවේදී කළ පසු එය ස්වයංක්‍රීයව රියදුරු බලපත්‍රයටත් යාවත්කාලීන වෙනවා. ඒ වගේම, අලුත් කිරීමේ ගාස්තුත් අඩුයි.
- ගාස්තු: සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රයකට නව එකක් ලබා ගැනීමට යෙන් 2,350ක් සහ අලුත් කිරීමට යෙන් 2,850ක් වැය වෙනවා. නමුත් මයි නම්බර් ඒකාබද්ධ කාඩ්පතකට නව එකක් යෙන් 1,550ක් සහ අලුත් කිරීම යෙන් 2,100ක් පමණයි.
ක්‍රියාත්මක වන ආකාරය
මෙම කාඩ්පත ලබා ගැනීමට, ඔබේ මයි නම්බර් කාඩ් එක සහ රියදුරු බලපත්‍රය රැගෙන ඔබේ ප්‍රදේශයේ රියදුරු බලපත්‍ර මධ්‍යස්ථානයට (Driver’s License Center) යා යුතුයි. එහිදී ඔවුන් IC චිපයට තොරතුරු ඇතුළත් කරනවා. ඔබට ස්මාර්ට්ෆෝන් එකකින් NPA විසින් සපයන යෙදුමක් (app) භාවිතයෙන් මෙම තොරතුරු බැලීමටත් හැකියි.
අලුත් කිරීමේ පහසුකම්
මයි නම්බර් ඒකාබද්ධ කාඩ්පත භාවිතා කරන “හොඳ රියදුරන්” (excellent drivers) - එනම්, රථවාහන නීති කඩ කිරීම් ඉතිහාසයක් නැති අය - සඳහා රියදුරු බලපත්‍රය අලුත් කිරීමේ පන්ති ඔන්ලයින් හරහා ගත හැකියි. මෙය මීට පෙර Hokkaido, Chiba, Kyoto, සහ Yamaguchi පළාත්වල අත්හදා බැලුණු දෙයක්. නමුත්, ඇස් පරීක්ෂණය සහ ඡායාරූපය යාවත්කාලීන කිරීමට තවමත් බලපත්‍ර මධ්‍යස්ථානයට යාම අවශ්‍යයි.
සීමාවන් සහ ගැටලු
- විදේශයේ භාවිතය: මෙම ඒකාබද්ධ කාඩ්පත විදේශයේදී රියදුරු බලපත්‍රයක් ලෙස භාවිතා කළ නොහැකියි. එම නිසා විදේශ ගමන්වලදී සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රයත් රැගෙන යාමට සිදුවෙනවා.
- කාඩ්පත කල් ඉකුත් වීම: මයි නම්බර් කාඩ්පතක වලංගු කාලය අවසන් වූ විට, එහි රියදුරු බලපත්‍ර තොරතුරු නව කාඩ්පතට ස්වයංක්‍රීයව මාරු නොවෙනවා. එය නැවත ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් කළ යුතුයි. 2025 සැප්තැම්බර් වන විට මෙය ස්වයංක්‍රීය කිරීමට NPA සැලසුම් කරනවා.
ජපානයේ අනාගත සැලසුම්
ජපාන රජය මයි නම්බර් කාඩ් එක සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත ලෙසත් 2024 දෙසැම්බර් වන විට ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබුණා. ඒ වගේම, ජංගම රියදුරු බලපත්‍රයක් (mobile driver’s license - mDL) හඳුන්වා දීමටත් සැලසුම් කරනවා, නමුත් ඒ සඳහා නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කරලා නැහැ.