පසුගිය නොවැම්බර් මස 7 වැනි දින ජපානයේ ඉබරකි සහ චිබා පොලිසිය විසින් කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී, Toyota Hiace, Isuzu Elf සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන 110කට අධික ප්‍රමාණයක් සොරකම් කිරීම සහ කැබලි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපානයේ Ibaraki, Itako, Magarimatsuminami හි පාවිච්චි කරන ලද වාහන විකිණීමේ ආයතනයක් පවත්වාගෙන ගිය 56 හැවිරිදි සුදස් සිරිවර්ධන සහ තවත් තිදෙනෙකි. මොවුන් 4 දෙන විසින් 2022 දෙසැම්බර් 18 සිට 2024 මැයි මස 17 වන කාලය අතරතුර Ibaraki, Tochigi, Gunma, Saitama, සහ Chiba යන ප්‍රාන්ත 5ක වාහන 110කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර එම වාහන වල මුළු වටිනාකම යෙන් මිලියන 100 ඉක්මවයි. මෙම සොරකම් ප්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ Tsuchiura සහ Inashiki යන නගර ආසන්නවයි.
මෙම චුදිත පිරිසෙන් එක අයෙකු දහවල් කාලයේදී නිවෙස්, ආයතන සහ අනෙකුත් වාහන නවත්වා තබන ස්ථාන වල ගැවසී සොරකම් කිරීමට සුදුසු වාහනයක් සොයාබලා ඒ පිළිබඳව තම සගයන්ට දැනුම් දී ඇත. ඉන් අනතුරුව දෙදෙනෙක් රාත්‍රී කාලයේදී වාහනය සොරකම් කර වාහන අංගනයක් වෙත රැගෙන ගොස් ඇති අතර අනෙත් පුද්ගලයා වහනය කැබලි කිරීම සිදු කොට ඇත. අනතුරුව මෙම කැබලි කරන ලද වාහන කොටස් වෙනත් වාහන කොටස් විකුණන ඒජන්ත වරුන් හට විකුණා ඇත.
මෙලෙස වාහන කැබලි කිරීම සිදු කරන ලද බවට සැක කෙරෙන වාහන අංගනයේ චායාරුපයක් ඉබරකි පොලිසිය විසින් මාධ්‍යට මුදාහැර ඇත.
