ෆුජි කන්දේ දර්ශනය අවහිර වන නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් කඩා දමයි

බටහිර ටෝකියෝ Kunitachi නගරයේ අලුතින් ඉදිකරන ලද Apartment ගොඩනැගිල්ලක් ගැනුම්කරුවන්ට පැවරීමට සති කිහිපයකට පෙර කඩා දැමීමට තීරණය කල බවට ගොඩනැගිල්ල ඉදිකළ Sekisui House Ltd. විසින් පසුගිය සඳුදා දින ප්‍රකාශ කළා.

මෙසේ මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට තීරණය කර ඇත්තේ ගොඩනැගිල්ල අවට පදිංචිකරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි. එම පැමිණිල්ලට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට දර්ශනය වූ ෆුජි කන්ද යම් ප්‍රමාණයකට අවහිර වී ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේද මෙලෙස අවට නිවැසියන් විසින් Sekisui House Ltd. වෙත පැමිණිලි සිදුකර ඇති අතර, එම පැමිණිලි සලකා බලා තට්ටු 11ක් ලෙස ඉදිකිරීමට තිබු ගොඩනැගිල්ල තට්ටු 10කට අඩු කිරීමට සහ තට්ටු අතර උසද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට Sekisui House Ltd. විසින් කටයුතු කර ඇත.

කෙසේ වුවද අවසානයේ අවට පදිංචිකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා Apartments 18කින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිරි සති කිහිපය තුලදී බිමට සමතලා කිරීමට Sekisui House Ltd. විසින් තීරණය කර ඇත. මෙම ගොඩනැගිල්ලේ එක් Apartment එකක් යෙන් මිලියන 70ත් 80ත් අතර මුදලකට ගැනුම්කරුවන්ට විකුණා තිබිණි.

"ෆුජි කන්දේ දසුන අගය කරන දේශීය සංස්කෘතිය ගැන අප දැන සිටියෙමු, නමුත් ඒ පිළිබඳව ප්‍රමාණවත් ලෙස සලකා බැලීමට අප අපොහොසත් විය. මෙම ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වශයෙන් අප ඔබ සැමගෙන් සමාව අයැද සිටිමු. " ලෙස Sekisui House Ltd. විසින් ව්‍යාපෘතිය අවලංගු කිරීමට ගත් තීරණය Kunitachi නාගරික රජයට වාර්තා කරන අතරතුර කියා සිටියේය.

2 Likes