ජපානයේ අහාර ද්‍රව්‍ය 614ක මිල ඉහලට

ජපානයේ යෙන් මුදලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් අමුද්‍රව්‍යවල ආනයන පිරිවැය ඉහළයාම හේතුකොටගෙන මෙම ජුනි මාසයේ සිට රසකැවිලි සහ කිරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය 614 මිල ඉහල ගොස් ඇති බව පර්යේෂණ සමාගමක් පවසයි.

විදේශ රටවල පවතින අධික උණුසුම සහ නියඟය හේතුවෙන් ඇති වූ දුර්වල අස්වැන්න, ජපානයේ ආනයනික කොකෝවා බෝංචි, කෝපි බෝංචි, ඔලිව්, දොඩම් සහ අනෙකුත් පලතුරු යුෂ සඳහා මිල ඉහළ යාමට හේතු වී ඇති බව Teikoku Databank Ltd විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී ඇත.

ප්‍රසිද්ධ snacks නිෂ්පාදන සමාගමක් වන Kappa Ebisen ඇතුළු ජපානයේ ප්‍රමුඛතම potato chips නිෂ්පාදකයෙකු වන Calbee Inc. ආයතනයද තම නිෂ්පාදන 68 ක මිල සෙනසුරාදා සිට සියයට 10 කින් ඉහළ නංවා ඇත.

ගෑස් සහ විදුලිය සඳහා රජය විසින් ලබාදුන් සහනාධාරය පසුගිය මැයි මස අගදී අඩකින් අඩුකිරීමද මෙයට හේතුවී ඇත. දුර්වල වෙමින් පවතින යෙන් අගය නිසා ආනයන පිරිවැය ඉහළයාම එකදිගටම සිදුවුවහොත් මේ වසර අගභාගය වනවිට ආහාර ද්‍රව්‍ය වල මිල තවදුරටත් ඉහල යා හැකිබව Teikoku Databank විසින් තම වාර්තාවේ සඳහන් කොට ඇත.

ජපන් රජය විසින් මෙසේ ඉහල යන බඩුමිල සහ උද්ධමනය ගැන සලකා බලා යෙන් 40,000ක මුදලක් ටැක්ස් මුදල් වලින් අඩු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙලෙසම ප්‍රධාන සමීක්ෂණ ආයතනයක් වන Mizuho Research & Technologies Ltd ට අනුව, අප්‍රේල් මාසයේ ආරම්භ වූ වත්මන් මූල්‍ය වර්ෂයේදී, ජපානයේ නිවෙස් වල වියදම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව යෙන් 106,000 ක් පමණ වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත.