2025 නොවැම්බර් මාසේ ජපන් රජය විසින් වීසා renewal (在留期間更新) සහ ස්ථිර නේවාසික අයදුම් - PR (永住許可申請) ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට සැලසුම් කරගෙන යනවා කියල නිවේදනය කරලා තියනවා.
වර්තමාන ගාස්තු මට්ටම් (2025 අප්‍රේල් වැඩිකිරීමෙන් පසු)
- වීසා නවීකරණය හෝ තත්ත්වය වෙනස් කිරීම (在留期間更新 / 在留資格変更): ¥6,000 (ඔන්ලයින් නම් ¥5,500)
- ස්ථිර නේවාසික (PR) අයදුම්: ¥10,000
මේ සුළු වැඩි කිරීම කරේ 2025 අප්‍රේල් මාසේ. ඊට කලින් වීසා නවීකරණය හෝ තත්ත්වය වෙනස් කිරීම (在留期間更新 / 在留資格変更): ¥4,000 සහ ස්ථිර නේවාසික (PR) අයදුම්: ¥8,000 විදියට තමයි තිබුනේ.
රජයේ නව යෝජනා (2026 මූල්‍ය වර්ෂයේදී ක්‍රියාත්මක වීමට නියමිත)
ජපාන රජය 2025 නොවැම්බර් 20-21 දිනවල පමණ නිවේදනය කළ ආකාරයට, 2026 මූල්‍ය වර්ෂයේ සිට (අප්‍රේල් 2026 සිට) ගාස්තු යුරෝපය සහ ඇමරිකාවේ මට්ටමට ගැලපෙන ලෙස වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රධාන වෙනස්කම්:
- වීසා නවීකරණය හෝ තත්ත්වය වෙනස් කිරීම (1 වසරට වැඩි කාලය සඳහා): ¥30,000 සිට ¥40,000 දක්වා (දැනට ¥6,000 වන බැවින් 5-6 ගුණයක වැඩිවීමක්)
- ස්ථිර නේවාසික (PR) අයදුම්: ¥100,000ට වැඩි මුදලක් (දැනට ¥10,000 වන බැවින් 10 ගුණයකට වැඩි වැඩිවීමක්)
මෙම ගාස්තු වැඩිකිරීම සඳහා නීති සංශෝධනයක් අවශ්‍ය වන අතර, එම කෙටුම්පත් 2026දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි කියල වාර්තා වෙනවා. මේ ගාස්තු වැඩිවීම සිදුවෙන්නේ වීසා කාලය අනුව ප්‍රමාණානුකූලව කියලත් සමහර තැන් වල වාර්තා වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක visa renewal එකට එක මුදලකුත්, අවුරුදු 5 visa renewal එකට ඊට වඩා වැඩි මුදලක් විදියට වෙන්න පුළුවන්.
මෙම වෙනස්කම් සිදුවීමට හේතු
- ජපානයේ විදෙස් නේවාසිකයන් සංඛ්‍යාව 2025 ජූනි වන විට 3,956,619 දෙනෙකු දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිම.
- විදෙස් නේවාසිකයන්ගේ අයදුම්පත්‍ර සැකසීම, පරීක්ෂා කිරීම සහ බහු සංස්කෘතික සමාජයක් ගොඩනැගීම සඳහා වැය වන මුදල් වැඩි වී තිබීම.
- යුරෝපයේ සහ ඇමරිකාවේ ගාස්තු මට්ටම්වලට (උදා: එක්සත් ජනපදයේ $420-470 පමණ) ගැලපීම.
- වැඩි ආදායම ජපන් භාෂා අධ්‍යාපනය, ජීවන සහාය සහ නීතිවිරෝධී නේවාසිකයන් පිටුවහල් කිරීම වැනි කටයුතු සඳහා යෙදවීම.